'සුනාමි' එන්න කලින් නැඟෙන චෝදනාවලට සෝමරත්නගෙන් උත්තර

  👤  1579 readers have read this article !
Published by : MB WEB 2018-08-16 13:25:08

සරෝජා, පුංචි සුරංගනාවි, සමනල තටු, සූරිය අරණ, සිරිපැරකුම්, සරිගම වැනි චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කළ සෝමරත්න දිසානායක අලුත්ම චිත්‍රපටයක් කරන්නට සැරසෙනවා. චිත්‍රපටය 'සුනාමි'. චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව එයට චෝදනා එල්ල වෙන්න පටන්ගෙන. නඩරාජා මනිවානන් නමැත්තකු විසින් ලියන ලද තිරපිටපතක් සොරාගෙන සෝමරත්න දිසානායක 'සුනාමි' චිත්‍රපටය නිර්මාණය කරන්නට සැරසෙන බවට තමයි චෝදනා නැඟෙන්නේ. ඒ චෝදනාව සමාජ මාධ්‍ය ඔස්සේ ළැව් ගින්නක් ලෙස පැතිරෙන්නට පටන්ගෙන තිබුණු නිසා මේ චෝදනාවට පිළිතුරු දෙන්න සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. නඟන චෝදනාවලට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් වුණේ මෙලෙස.

'සුනාමි' පිටපත සොරා ගැනීමක් නෙවෙයි

මම නිර්මාණය කරන්න යන 'සුනාමි' නමින් හඳුන්වන චිත්‍රපටය ඔහුගේ පිටපත සොරා ගැනීමක් කියලා කියනවා. මම හිතපු සංකල්පයෙන් ඔහු නිර්මාණයක් කිරීමේ වරදක් නෑ. නමුත් ඔහුගේ වරද තමයි ඔහු කෙළින්ම මට චෝදනා කරනවා, මම ඔහුගේ පිටපතක් සොරාකාලා මංකොල්ලකෑමක් කරලා නිර්මාණයක් කරනවා කියලා. මම සොරා ගත්තා කියනවා නම් එහෙම කියන්න තියෙන සාධක මොනවාද. ඒක කිසිම සත්‍යයක් නැති චෝදනාවක්.

බොරු කියන ඒවා නිර්මාණය කරන්න පුළුවන්. නමුත් ඒවා ඔප්පු කරන්න අමාරුයි.

'සුනාමි' සංකල්පය මට ලැබෙන්නේ පුවත්පතක පළ වූ ලිපියකින්.

සුනාමි සංකල්පය මට ලැබෙන්නේ පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් ඇසුරෙන්. ඒ ප්‍රවෘත්තිය කියෙව්ව මට හිතුණා එය චිත්‍රපටයකට හොඳ වස්තුබීජයක් කියලා. ඒක සංවේදී කතාවක්. ඒකයි මම එයින් නිර්මාණයක් කරන්න හිතුවේ. ලිපිය පළවෙන්නේ 2016 අගෝස්තු 4 'ලංකාදීප පුවත්පතේ. පසුව මම ඒ ලිපිය ලියපු ක්‍රිෂාන්ගේ දුරකථන අංකය හොයාගෙන ඔහුට කතා කළා. ඔහුව හම්බවෙන්න මාතරටත් ගියා. ඊට පස්සේ එයට අවශ්‍ය ගවේෂණ කටයුතු, නිරීක්ෂණ කටයුතු කළා. ඒ හැම කටයුත්තකම සාධක මං ළඟ තියෙනවා. ඒවා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා.

2016 අගෝස්තු මාසයේ ඉඳලා කළ නිරීක්ෂණවල සොයා බැලීම්වල ප්‍රතිඵලය තමයි 'සුනාමි' නමින් හඳුන්වන මගේ චිත්‍රපටයේ පිටපත.

ඔහුත් මේ සංකල්පයට පිටපතක් කළාද මම දන්නේ නෑ

මම කියන්නේ නෑ මේ සංකල්පය මුලින්ම ලිව්වේ මම කියලා. ඒ නිසා වෙනත් කෙනකුට මේ තේමාව යටතේ නිර්මාණයක් කරන්න අයිතියක් නෑ කියලා මම කියන්නේ නෑ. නිර්මාණකරුවෙක්ට කොහෙන් හෝ වස්තුබීජයක් ලැබුණම එය සත්‍ය සිදුවීමක්ද, එය පෞද්ගලික අත්දැකීමක්ද කියන දේ අනුව තමන්ගේ ඕනම නිර්මාණයක් කරන්න පුළුවන්. මම කළ සංකල්පයෙන් තව කෙනෙක් නිර්මාණයක් ලියලා තියෙනවා කියන එක මට පුදුමයක් නෙවෙයි. 2004 සුනාමි ඛේදවාචකය පසුබිම් කරගෙන මේ වන විට ලංකාවේ නිර්මාණ කිහිපයක් බිහිවෙලා තියෙනවා. ඩොක්ටර් කපිල සූරියආරච්චි දැනටමත් ඔහුගේ චිත්‍රපටයේ වැඩ කටයුතු බොහොමයක් අවසන් කරලා ඉවරයි. නමුත් ඔහු කවදාවත් කියන්නේ නැහැ එයාගේ සංකල්පය කවුරුත් හොරකම් කරලා කියලා. ඒ නිසා ඕනම කෙනකුට අයිතියක් තියෙනවා තමන්ට ලැබෙන සංකල්පයෙන් නිර්මාණයක් කරන්න. මට චෝදනා කරන මහත්මයත් එහෙම සංකල්පයක් පහළ වෙලා පිටපතක් ලියලා ඇති. මම දන්නේ නෑ. ඒක මම පළමු වතාවට දැන ගන්නේ මට චෝදනා කළාට පස්සේ.

පිටපතක් අපිට දීලා නැහැ. අද තමයි (6දා) මට එන්තරවාසියක් ලැබුණේ. මට චෝදනාව කරන පුද්ගලයා මුලින්ම සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය කරලා තිබ්බේ ඔහු ස්ක්‍රිප්ට් එකක් ලියල 2018 අප්‍රේල් මාසයේ ඩයලොග් ආයතනයට භාර දුන්නා කියලා. එයට දුන්න පිටපත මම යම් විදියකින් හොරකම් කරගෙන නිර්මාණයක් කරනවා කියලා තමයි ඔහු කියලා තිබ්බේ. නමුත් ඊට පස්සේ ඔහු නීතිඥ මාර්ගයෙන් අපට එවන ලිපියේ සඳහන් වෙන්නේ වෙන එකක්. එහි කියනවා ඔහු පිටපත ලියලා ඩයලොග් ආයතනය ඇතුළු තවත් සමාගම් කිහිපයකට දුන්නා. ඊට අමතරව මට සහ රේණුකාට පිටපතක් දුන්නා කියලා. නමුත් එහෙම පිටපතක් අපට දීම සිද්ධ වෙලා නැහැ. මේක අමූලික බොරු ප්‍රචාරයක්. මේක නීතිඥයෙක් මාර්ගයෙන් එවන එන්තරවාසියක් පමණයි. තාම අධිකරණයේ නඩුවක් විභාග වෙන්නේ නෑ.

සොරකමක් කළේ නැති බව ඔප්පු කරන්න සාක්ෂි

දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙනුත් මට කරන චෝදනා බොරු කියලා ඔප්පු කරන්න සාක්ෂි තිබෙනවා. මේ පිටපත මම ලියලා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා මෙය බුසාන් අන්තර්ජාතික සිනමා උළෙලට ඉදිරිපත් කළා. මෙහි නිෂ්පාදන කටයුතු සඳහා මූල්‍යමය දීමනාවක් ලබාගැනීම සඳහා මීට දෙවසරකට පෙර ඔවුන්ට ඉදිරිපත් කළ මගේ සංකල්පය ගැන ඔවුනුත් සාක්ෂි දරනවා. අපි හොරකමක් කරලා නෑ කියන සත්‍ය සනාථ කරන්න අපිට බොහෝ කරුණු තියෙනවා.

එල්ල කරන චෝදනා මගේ චරිතයට හානියක්

මේ චෝදනාවෙන් මගේ නමට, මගේ ප්‍රතිරූපයට විශාල හානියක් වෙනවා. සමාජ මාධ්‍ය බොහෝ ලෙස පරිශීලනය වන දෙයක්නේ. එය සත්‍ය වුණත් නැති වුණත් මිනිස්සු ඒක කියවනවා. ඒ හරහා චරිතයට හානියක් වෙනවා. ඒකට කමෙන්ට් කරන දේවල් දැක්කම තරහා යනවාට වඩා හිනහා යනවා. වගකීමකින් තොරව සමහරු කමෙන්ට් කරන්නේ. ඒ ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ. නමුත් අනුකම්පාවකින් නවත්තන්න බැහැ. මොකද මට වෙන හානිය වැඩියි.

මමත් නීතිමය පියවර ගන්නවා

ඔහු මට එරෙහිව ගෙනයන නීතිමය ක්‍රියා මාර්ගයට අමතරව රේණුකා සහ මම දැනටමත් නීතිමය මාර්ගයෙන් ක්‍රියාකරනවා. මොකද දැනටමත් අපට අපහාස කරලා ඉවර නිසා. මෙවැනි දෙයට අපිට නිහඬව ඉන්න බැහැ. මට චෝදනාව කළ සිනමාකරුවාය කියන මහත්මයා මම කවදාවත් දැකලත් නැහැ. ඔහුව දන්නෙත් නෑ. ඒ මහතා ආරම්භ කළ චෝදනාව දිගින් දිගටම ගෙනියන්නට, එයට පොහොර දමන්නට, එය සරු කරන්න එකතු වුණු තවත් පිරිසක් ඉන්නවා. ඔවුන්ව හොයන්න පුළුවන්කම තියෙනවා. ඒ අයට වෙන වෙනම අපි නඩු දමනවා. නමුත් වැරැද්ද පිළිගෙන ප්‍රසිද්ධ මාධ්‍යයෙන් සමාව ගත්තොත් අපි ඒ පියවර නතර කරනවා. සමාව ඉල්ලුවොත් අපි සමාව දෙනවා. සමාව නොගෙන දිගින් දිගටම මෙය කළොත් කනගාටුවෙන් හරි ඒ සියලු දෙනාටම එරෙහිව නීතිමය පියවර ගන්නවා. අභූත චෝදනාවලට වන්දි ඉල්ලනවා.

ඔහු 2018 අප්‍රේල් මැයි මාසවලදී අදාළ ආයතනවලට පිටපත් දුන්නා නම් මම සොරකමක් කරන්න ඕන ඊට පස්සෙනේ. නමුත් මම මීට වසර 2කට පෙර මේ පිටපත රචනා කරන්න ගත්තා කියලා ඔප්පු කළාම මට කරන චෝදනා සියල්ල බොරු බවට පත්වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon