කුරුණෑගල රිදී විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර 18දා ඇරැඹේ

  👤  1798 readers have read this article !
Published by : MB WEB 2018-08-14 06:51:05

කුරුණෑගල - කමලා අතරගල්ල


කුරුණෑගල ඓතිහාසික රිදී විහාරය මූලික කරගත් රිදී විහාරස්ථාන පත්තිනි දේවාලය සහ කුමාර බණ්ඩාර දේවාලයන් හි වාර්ෂික ඇසළ මහ පෙරහර මෙම අගෝස්තු 18 වැනි දින ආරම්භ වී සැප්තැම්බර් 1 දින දැදුරුඔයේ නිලන්තට්ටු දියකැපුම් තොටෙන් දිය කැපීමෙන් නිමාවට පත්වන බව ඓතිහාසික රිදී විහාරයේ භාරකාර තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමියෝ පැවැසූහ.


මෙය දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය ඉදිකරගෙන යෑමේදී ඇතිවූ මූල්‍යමය ගැටලුවට පිළියමක් ලෙස පහළ වූ රිදීගොබය ලබාදුන් රිදී විහාරය මූලික කරගත් ප්‍රථම පෙරහරෙන් පසු මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන එන ඓතිහාසික පෙරහර මංගල්‍යයකි.


එකල පැවැත්වූ පෙරහර මංගල්‍ය පරිද්දෙන්ම අදටත් පවත්වනු ලබන පෙරහරේ 'කප්' සිටුවීම පසුගිය අගෝස්තු 12 වැනිදා ඉරිදා සුබ මොහොතින් හිමිදිරියේ සිදු කෙරිණි.
පුරාණ චාරිත්‍ර විධි අනුගමනය කරමින් පත්තිනි දේවාලය සහ කුමාර බණ්ඩාර දේවාලයේ අභ්‍යන්තර පෙරහර අගෝස්තු මස 18 වැනි දින ආරම්භ වී අගෝස්තු මස 21 වැනි දින දක්වා පැවැත්වේ. දේවාලයන්හි කුඹල් පෙරහර අගෝස්තු 22 වැනි දින ආරම්භ වී අගෝස්තු මස 26 වැනි දින දක්වා පැවැත්වීමෙන් නිමාවට පත්වේ.


රන්දෝලි පෙරහර අගෝස්තු 27දා ආරම්භ වන අතර රාත්‍රියේ රන්දෝලි පෙරහර දේවාල භූමියෙන් පිටත්ව පෙත්මඟට පැමිණ රිදීගම කැප්පෙටිගල මාර්ගයෙන් ගමන් කර රිදී විහාර මාර්ගයේ ඉදිරියට පැමිණ දේවාලයේ ප්‍රධාන ‍ෙදාරටුවෙන් ගෙවැදීම සිදු කෙරෙයි. අගෝස්තු 28, 29, 30 දිනයන්හිදීද පෙරහර එම ගමන් මාර්ගය ඔස්සේම ගමන් කරන අතර අගෝස්තු 31 අවසන් රන්දෝලි මහ පෙරහර රාත්‍රි රිදී විහාරයෙන් පිටත්ව රිදීවිහාර මාර්ගයෙන් කැප්පෙටිගල පාරට පිවිස කුරුණෑගල නගරය දක්වා පැමිණ බෞද්ධ මන්දිරය, පොලිසිය මාර්ගය, ඩිපෝව මාර්ගය හරහා විහාරස්ථානයට පැමිණ එහි ගෙවදීමෙන් නිමාවට පත්වේ.


සැප්තැම්බර් 1 වැනි දින හිමිදිරියේ නිලන්තට්ටුව දියකැපුම් තොටෙන් දියකපා 2018 පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බවද විහාරස්ථ භාරකාර බුද්ධරක්ඛිත නාහිමියෝ පැවැසූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon