බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිටත බාධක සමග රියක් ගැටේ

  👤  1142 readers have read this article !
Published by : MB WEB 2018-08-14 17:18:44

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පිටතින් පිහිටි ආරක්ෂක බාධක වෙත මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය පවසයි.

බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 07.30 පසු වී සුළු වෙලාවකින් හටගත් මේ සිදුවීමට සන්නද්ධ පොලිස් නිලධාරීහු, ගිලන් රථ සහ ගිනි නිවන හමුදා භටයෝ ප්‍රතිචාර දක්වමින් සිටිති.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර ආරක්ෂක නිලධාරීන් මෝටර් රථය වටකර ගෙන සිටින ආකාරය දැකගත හැකි විය.

පාපැදිකරුවන් රථයේ ගැටී ඇති බවට වාර්තා පළ වන නමුත් කිසිවකුත් ජීවිත අවදානමක සිටින බව පොලිසිය විශ්වාස නොකරයි.

සිදුවීම ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාවක් දැයි ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට මේ මොහොතේදී කිව නොහැකි නමුත් ඇසින් දුටුවන් ගණනාවක් පවසා ඇත්තේ මෝටර් රථය සිතාමතාම මහජනයා සමග ගැටුනු බවක් පෙනෙන්නට තිබු බවය.

'වෙස්ට්මින්ස්ටර්' උමං දුම්රිය ස්ථානය වසා දමා ඇති අතර මිල්බෑන්ක්, පාර්ලිමේන්තු චතුරශ්‍රය සහ වික්ටෝරියා ටවර් ගාඩ්න්ස් පෙදෙස් වසා දමා ඇත.

ඇසින් දුටුවෙකු බීබීසී වෙත කියා සිටියේ රථයේ රියදුරු විසින් සිතාමතාම පාර්ලිමේන්තු චතුරශ්‍රය වෙත පිවිසීම සඳහා මාර්ග සංඥා පහන් අසල පෙළට සිටි පාපැදිකරුවන් හැප්පවූ බවක් පෙනෙන්නට තිබු බවය.

අනතුරුව මෝටර් රථය මාර්ගයේ අනෙක් පසට හරවා ආරක්ෂක බාධක වෙත පදවන ලද බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මාංචු දැමු පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරීන් විසින් පිටතට රැගෙන යනු ලබන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල තුළ පළ වී තිබේ.

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon