18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 178ක් හා නිලධාරීහු 78ක්

  👤  1637 readers have read this article !
Published by : MB WEB 2018-08-15 13:02:04

විචිත්‍ර වීරසිංහ

තවත් දින 3කින් ඉන්දුනීසියාවේදී ආරම්භ වන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 178 දෙනකු හා නිලධාරීන් 78 (පුහුණුකරුවන් ඇතුළුව) දෙනකු සහභාගිවීමට නියමිතය.

ඒ අනුව ක්‍රීඩකයන් 135ක් හා ක්‍රීඩිකාවන් 43 දෙනකු ඇතුළත්ව ඇති ශ්‍රී ලංකා සංචිතයෙහි වැඩිම පිරිසක් කබඩි ක්‍රීඩාවෙන් සහභාගි වන අතර, එම පිරිස 24කි. බේස්බෝල් හා හොකී ක්‍රීඩාවන්ගෙන් පිළිවෙළින් ක්‍රීඩකයන් 18දෙනකු බැගින් සහභාගි වන අතර, ඉන් අනතුරුව වැඩිම පිරිසක් එනම් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 14 දෙනකු සහභාගි වන්නේ මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමිනි.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අතුරින් පිරිමි දුර පැනීම ඉසව්වට සහභාගි වන ජනක විමලසිරි, පිරිමි මීටර් 400×4 ඉසව්ව හා ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම මෙම තරගාවලියේදී යමක් කිරීමට හැකියාව ඇති බවට බලාපොරොත්තු තබාගෙන ඇත.

එහිදී ජානක විමලසිරි පසුගියදා නිමාව දුටු ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 8.14ක දුරක් තරණය කර තිබූ අතර, මීටර් 400×4 පිරිමි ඉසව්වේදී ඔවුන් වාර්තා කළ කාලය ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින් ආසියාවේ අංක දෙක ස්ථානයට පත්වී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව කුමන හෝ පදක්කමක් බලාපොරොත්තු වන ප්‍රධානතම ඉසව්ව බවට එය පත්ව තිබේ

තවද බර ඉසිලීම හා බොක්සිං ඉසව්වන්ද ශ්‍රී ලංකාව යම් පමණකට බලාපොරොත්තු තබා ඇති අනෙක් ඉසව්වන් බවද කිව හැකිය.

කෙසේ වෙතත් රටවල් 46කින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 11,800ක් පමණ සහභාගි වන මෙම තරගාවලියේ වැඩිම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසක් එනම් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 951ක් සහභාගිවීමට නියමිතව ඇත්තේ සත්කාරක ඉන්දුනීසියාවෙනි. එයට අමතරව චීනයෙන් 879ක්, දකුණු කොරියාවෙන් 807ක් හා තායිලන්තයෙන් 816 දෙනකු මෙම තරගාවලිය සඳහා සහභාගි වන බවද වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon