පල්ලෙගම රජයේ රෝහල වැසී යන අවදානමක

  👤  1145 readers have read this article !
Published by : MB WEB 2018-08-16 14:07:10

මොරවක - ජේ.ඩබ්ලිව්. පියදාස

දෙණියායේ පල්ලේගම රජයේ රෝහල වැසී යෑමේ අවදානමට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

දැනට ප්‍රතිකාර කරන්නේ බාහිර රෝගී අංශයෙන් පමණකි. ගැබිනි මවුවරුන් සඳහා වූ වාට්ටුවල පහසුකම් ඇතත් ගැබිනි මවුවරුන් නතර කර නොගන්නා බව ඔවුහු කියති.

මෙම රෝහල ආරම්භ කර ඇත්තේ වර්ෂ 1956දීය. සර් ජෝන් කොතලාවල මහතා අතින් විවෘත කර ඇති බව සඳහන් වේ. මෙය මාතෘ සායනයක් ලෙස ආරම්භ කරන ලද්දකි.

විදුලිය පහසුකම් නැති කාලයක ආරම්භ කර ඇති මෙම රෝහලේ සියලු කටයුතු කර ඇත්තේ ලන්තෑරුම් එළියෙනි.

මෙම රෝහලෙන් පල්ලේගම ජනතාවට හා ඒ අවට දුෂ්කර ගම්මාන රැසක ජනතාවට සෙත සැලසේ. දිනකට බාහිර රෝගී අංශයෙන් සියයකට වැඩි පිරිසක් ප්‍රතිකාර ගන්නා බව ප්‍රදේශවාසීහු කියති.

කොටපොළ ප්‍රාදේශීය සභාවේ ජ.වි.පෙ. මන්ත්‍රි දුමින්ද සංජීව මහතා,

මේ රෝහලෙන් ප්‍රදේශයට විශාල සේවයක් සිදු වෙනවා. අවසන් හුස්ම හෙළීමට ආසන්න තත්ත්වයකයි තිබෙන්නේ. කාර්ය මණ්ඩලය කනිෂ්ඨ සේවකයන් සමඟ 16ක් ඉන්න ඕන. එහෙත් දැන් ඉන්නෙ හත් දෙනයි. එක වෛද්‍යවරයයි. රෝහලට ගිලන් රථයක් තිබුණත් නේවාසික රෝගීන් නැති නිසා එයින් ප්‍රයෝජනයක් නැහැ.

රෝහලේ නේවාසික පහසුකම් ප්‍රමාණවත් නැහැ. නිල නිවාස, මෘත ශරීරාගාරය ගරා වැටිලා. සවස හයෙන් පසුව බේතක් ගන්න පෞද්ගලික සාප්පුවක්වත් පල්ලේගම නැහැ.

මේ රෝහල ආරක්ෂා කර ගන්න ඕන. රජය මැදිහත්ව වෛද්‍යවරු, කාර්ය මණ්ඩල ලබාදී විනාශ වන ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්න ඕන.

මෙම රෝහලේ සිටින එකම වෛද්‍යවරයා වන සමන්ත විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ මෙසේය.

ජනතාව තුළ විවිධ අදහස් තිබුණත් රජයෙන් නම් රෝහල වසා දමන්නේ නැහැ. කාර්ය මණ්ඩලයේ අඩුවක් තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මිය ගිහින්. අපේ වෛද්‍යවරයෙක් පුහුණුවකට ගියා. මේ අඩුපාඩු ගැන අදාළ අංශ දැනුවත් කළා. ගෙඩනැඟිලි සඳහා ප්‍රතිපාදන රජයෙන් වෙන්කර තිබෙනවා. ඒවා ලබාගෙන වැඩ කරන්න මේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙක් නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon