ඉම්රාන් ඛාන්ගේ මංගල කැබිනට්ටුව විස්සකට සීමා වෙයි

  👤  1781 readers have read this article !
Published by : MB WEB 2018-08-20 12:47:22

පාකිස්තානයේ විසි දෙවැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ඉම්රාන් ඛාන් සිය මංගල අමාත්‍ය මණ්ඩලය විසි දෙනකුට සීමා කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය ජූලි 25 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් වැඩිම ආසන දිනාගත් පාකිස්තාන තෙහෙරික් ඉන්සාෆ් පක්ෂයේ නායකයා වන ඉම්රාන් ඛාන් එරට ජාතික මන්ත්‍රණ සභාවේ සිදුකරනු ලැබූ ඡන්ද විමසීමේදී ඡන්ද එකසිය හැත්තෑ හයක් ලබාගෙන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.

එරට ජනපති මැදුරේදී දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා විසිදෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් ප්‍රකාශයට පත් කළ අතර එයින් පස්දෙනකු අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයන් බව පී.ටී. අයි. පක්ෂයේ ප්‍රකාශක ෆවාඩ් චව්ද්රි මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

ඉස්ලාමාබාද් නුවර ජනාධිපති මන්දිරයදී පාකිස්තාන ජනාධිපති මම්නුන් හුසේන් ඉදිරියේ ඉම්රාන් ඛාන් දිවුරුම් දුන් අතර එම අවස්ථාවට දේශපාලනඥයන්, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මිලියන දෙසිය අටක ජනගහනයකින් යුතු පාකිස්තානයේ විසි දෙවැනි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉම්රාන් ඛාන් ඇඳ සිටි ඇඳුම පිළිබඳව කාගේත් අවධානය යොමු වී ඇත. ඒ ඔහුගේ වීරයා වූ පාකිස්තානය ස්ථාපිත කිරීමේදී පුරෝගාමියා ලෙස ක්‍රියා කළ මොහොමඩ් අලි ජින්නා නිතරම ඇඳ සිටි කළු පැහැති ෂර්වානිය නමැති ඇඳ සිටීම හේතුවෙනි. වසර හැත්තෑ එකක් ඉතිහාසයේ පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදී අගමැතිවරයකුට බලය ලබාදුන් දෙවැනි අවස්ථාව මෙය ලෙස සලකන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අනෙක් සෑම අවස්ථාවකදීම එරට බලය හුවමාරු වී ඇත්තේ හමුදාව හෝ වෙනත් කුමන්ත්‍රණයන්ගෙන් බවද වාර්තා පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon