යමුනා විනෝදනීගේ 'අසුරු සැණින්' බිෂොප් වේදිකාවට

  👤  1925 readers have read this article !
Published by : MB WEB 2018-08-20 16:44:12

 

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..

මේ මීට දශක තුනකට පමණ පෙර අපි කතාබහ කරන්න හදන අපේ ප්‍රවීණ ගායිකාව ගැයූ අපූරු ආදර ගීතයක්.

ඊට පස්සේ ඇය මේ විදියටත් ගැයුවා.

ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුණු දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි..

"මේ වගේ ගීතවලට එදා ඔබට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද"

සිනාමුසු මුහුණින් අපි ඉදිරියේ ඉන්න මේ ගීතවල අයිතිකාරිය ප්‍රවීණ ගායිකා යමුනා විනෝදනීගෙන් අප බොහොම සුහදව ඇහුවා.

"ඒ කාලේ මේ ගීතවලට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම මගේ අනන්‍යතාව හැදුණේ මේ වගේ ගීතවලින් තමයි. අසුරු සැණින් ගීතය ලිව්වේ අපේ හිතවත් කුසුම් පීරිස්. ඇය කලබලේට ගීත ලියන රචිකාවියක් නෙමෙයි. කාලය අරගෙන මේ ගීතය මට ලියා දුන්නා. මගේ තාත්තා (ප්‍රවීණ වාද්‍ය ශිල්පි ලෙස්ලි අශෝකා) මේ ගීත දෙකටම සංගීත නිර්මාණය කළා..."

" විශ්වය අලුතින් බිහි වෙලා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා" කියල බොහොම ලස්සන ප්‍රාර්ථනාවක් මෙහි ගැබ් වී තිබෙනවා. ඒක අද කාලේ ඉන්න ආදරවන්තයන්ටත් ගැළපෙන ආදරණීය සිතිවිල්ලක්.."

" අනිත් ගීතය නම් ප්‍රේමය හා ආදරය තුළ තිබෙන වෙනස ගැන කියනවා. ඒ කාලේ විශ්වවිද්‍යාල දරුවෝ අතරේ මේ ගීතය හුඟාක් ජනප්‍රිය වුණා... මොකද ඒ දවස්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් හිටපු ගැහැනු දරුවෙක්ව එයාට ආදරය කළ පිරිමි ළමයා ඉතා කෘෘර විදිහට පිහියකින් ඇනල මරල දාපු වෙලාවේ මේ ගීතය ඒ මිය ගිය දරුවගේ මරණ දැන්වීම උඩ ලොකුවට ලියා තිබුණු නිසා.."

"මම පෞද්ගලිකව එහෙම වෙනසක් තිබෙනවට කැමති නැහැ. ආදරය ඉදිරියේ එහෙම වෙන්න හොඳ නැහැ..."

"ළඟදීම මේ ගීත නැවත අපිට අහන්න ලැබෙනවා. ඒ ගැන මතක් කරමු නේද?"

"ඔව්. අගොස්තු මාසේ 24 වැනිදා සවස 6.30ට කොළඹ 07 බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ඇසුරු සැණින් මගේ ඒකපුද්ගල සංගීත ප්‍රසංගය පවත්වනවා. එහිදී මෙම ගීත වගේම මගේ ජනප්‍රිය ගීත රැසක් ගායනා කරනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ සුදත් සෝමසුන්දර ප්‍රමුඛ වාදක මණ්ඩලය සංගීතය සපයනවා.."

යමුනා විනෝදනී කියන ප්‍රවීණ ශිල්පිනිය බිහි වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයෙන්. ඉන් පසුව ඇය එහි රැකියාවට යනවා. අද වෙද්දී ඇය සංගීත අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කරනවා. ඇය තමන්ගේ අනාගතය ගැන හා වර්තමානය ගැන මේ විදියට කියනවා.

"මම පුංචි කාලේම මගේ අම්මා පපුවේ අමාරුවකින් මිය ගියා. එතකොට මට වයස අවුරුදු 10 යි. ඒ නිසාම මගේ තාත්තා මා ගැන ගොඩාක් ලොකු උනන්දුවකින් බැලුවා. තාත්තා ගුවන් විදුලියේ වැඩ කළ නිසා මාවත් යද්දි එක්කරගෙන යන්න පුරුදුව සිටියා. ඒ නිසාම මම ළමා මණ්ඩපයේ ගී ගැයුවා. ලොකු මහත් වෙද්දීත් එහෙමයි.."

"ඔය කාලෙදීම තමයි මම සංස්ථාවේ රැකියාවටත් ඉල්ලුම් කළේ. එතකොට මම කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙ..ඉතිං උපාධිය ලබා ගන්න ගමන් මම රැකියාව කළා. මම හැම වෙලාවෙම ඉස්සරහට ආවේ මගේ දක්ෂතාවයෙන්.."

"ඔබ ළඟදීම විශ්‍රාම යනවා. මෙපමණ කාලයක් කළ රස්සාව ගැන තෘප්තිමත්ද?

යමුනා ඊට උත්තර දුන්නේ නැහැ. සිනාසුණා. නමුත් ඒ නිහඬතාව තුළ මොකක්දෝ කියන්න බැරි ලොකු පිළිතුරක් තිබෙන බව නම් අපිට තේරුම් ගියා.

"අපි ගෙදර තොරතුරු කතා කරමු. දරුවෝ ගැන. ස්වාමිපුරුෂයා ගැන..?"

"මම පිරිමි දරුවෝ දෙන්නකුගේ අම්මා කෙනෙක්.. ලොකු පුතා පුලින හසන්ත. ඔහු බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒ වගේම විවාහකයි. ඒ පුතා විවාහ වුණු දරුවත් ඉතා හොඳ කෙනෙක් "

"දෙවැනි පුතා තර්ෂණ මාධව. ඔහු සංගීත අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. ඵයා මැන්ඩලීන් වාදනයට වගේම ගිටාර් වාදනයට ගොඩක් දක්ෂයි. කලෙකට ඉහත විශාරද ටී. ෂෙල්ටන් පෙරේරා මහතා මා සමඟ ගායනා කළ "මිලාන මලකි.." ගීතය මගේ ප්‍රසංගයේදී තර්ෂණ පුතා සමඟ මා ගායනා කරනවා. ඒ වගේම ස්වාමිපුරුෂයා නෙවිල් ගැනත් මතක් කළ යුතුයි. ඔහු නිසා තමයි මට මේ තරම් දුරක් එන්න ලැබුණේ.."

"ගුවන් විදුලි රැකියාවෙන් විශ්‍රාම ගිහින් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ..?"

"මම විෂය දැනුම තිබෙන කෙනෙක්.. ඒ නිසා මේ ක්ෂේත්‍රය තුළ දිගටම ඉන්නවා. දැනටත් මම සංගීතය සම්බන්ධ බොහෝ වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවල පවා ඉන්නවා. ඉදිරියේදී දරුවන්ට සංගීතය උගන්වන්නත් හිතාගෙන ඉන්නවා. මම ගුවන් විදුලියේ රස්සාවෙන් ඉවත් වී යන්නේ ආයතනය එක්ක හොඳ සබඳතාවක් තියාගෙන. ඒ නිසා එතැනටත් ගිහින් මගේ දායකත්වය ලබා දෙනවා. ගුවන් විදුලි සංස්ථා රස්සාව ඇතුළේ මට බොහොම ලස්සන අත්දැකීම් තිබෙනවා. මහා දැවැන්ත චරිත එක්ක මම වැඩ කරල තිබෙනවා. මම සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණු වෙලාවේ ඉන්දියාවෙන් ආපු පරීක්ෂකවරියක් ඉදිරියේ (දීපාල් නාග් මහත්මිය) ගායනාව ඉදිරිපත් කරල තමයි සමත් වුණේ. ඒවා ඇත්තටම ජීවිතේ සොඳුරුතම අත්දැකීම්. ඒ වගේම ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ළගට ගිහින් බයේ ගැහි ගැහී ගීතයක් ලියල දෙන්න පුළුවන්ද කියල අහපු හැටිත් අද වගේම මතකයි. මොකද අපි ආධුනික කාලේ ඔවුන් දැවැන්තයෝ. නමුත් මගේ ඒ අහිංසක ඉල්ලීම පිළිගෙන ඔහු මට "ප්‍රේමයයි වෛරයයි අතරේ "ගීතය ලියා දුන්නා.."

"ඇත්තටම මේවා ජීවිතයේ ලස්සන මතක සටහන්. මම තරුණ වියට එළැඹුණාම ගුවන් විදුලි සංස්ථා භූමියේ ඉඳල බස් හෝල්ට් එකට ඇවිත් මගේ තාත්තා ටිකක් අෑතට වෙලා ඉඳල තමයි බස් එකට ගොඩ වෙන්නේ. මොකද පිරිමි ළමයි මට විහිඑ කරන එක තාත්තට දරාගන්න බැරි හින්දා. ඒවා ඇත්තටම ලස්සන මතක සටහන්. අද තාත්තා නැහැ. ඒත් ඔහු මාව හදපු විදිය හරිම ආදරණීයයි."

සමන් ප්‍රියංකර නම්මුණිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon