ජයන්ත චන්ද්‍රසිරි ගැටවර වියේ අත්විඳපු වික්‍රමයක් 'ඝරසරප' චිත්‍රපටයට ගෙනත්

  👤  3032 readers have read this article !
Published by : MB WEB 2018-08-22 09:50:00

'ඝරසරප' තිරයට ඇවිත්. වෙනස් තේමාවකින් තිරයට ගෙනාපු 'ඝරසරප' නිමැවුමේ නිර්මාණ පසුබිම ගැන මුලින්ම කතා කරමු.

80 දශකයේ මුල් භාගයේ එවකට සේවය කරමින් සිටි නවලිය පුවත්පතේ මංගල කලාපයට මා එක්තරා ලිපියක් ලියනවා. ඒ ලිපියෙන් කියැවෙන්නේ මගේ ගැටවර වයසේදී මා සැබැවින්ම අත්විඳි එක්තරා වික්‍රමයක්. මේ ලිපිය සඳහා එදා චිත්‍ර සටහන ඇන්දේ අද 'මව්බිමේ' සේවය කරන ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක. 'භූතයකු සමඟ දින හතක්' යන මැයෙන් පළවූ මෙම ලිපියට ඒ දවස්වලත් මට පාඨකයන්ගෙන් විශාල ප්‍රතිචාරයක් හිමි වුණා. මට මතකයි. ඒ කාලයේ මගේ ප්‍රධානියකුව සිටි ජේ‍යෂ්ඨ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහ මහතා මට කිව්වා 'මේකෙන් ඔයාට ෂෝක් නවකතාවක් ලියන්න පුළුවන්නේ' කියලා. කොහොම වුණත් ඒ ලැබුණු ප්‍රතිචාරවලට ආස්වාදයෙන් සිටියා මිසක් මගෙන් ඉන් එහා දෙයක් කෙරුණේ නැහැ. ඉන් වසර තිහකට විතර පස්සේ මා සිනමාකරුවකු වෙලත් කාලයක් ගියාට පස්සෙයි මට මේ කතාව මතක් වුණේ. ගුණසිංහ මහතා කිව්වා වගේ නවකතාවක් ලියනවාට වඩා මෙයින් අපූරු චිත්‍රපටයක් නිර්මාණය කළ හැකිය යන අදහස මගේ හිතට ආවේ ඊට පසුව.

එතකෙට නැවත ඔබට මෙය නිර්මාණයක් වෙනුවෙන් මතක් වෙන්නේ කාලයකට පස්සේ නේද?

සිනමාව සමඟ මගේ තිබුණු කාර්යබහුලත්වය මත මට මේක යළිත් අමතකව ගියා. ඔහොම ඉන්න අතරේ මම දිනක් රාජකාරි කටයුත්තකට පුස්තකාලයේ පැරැණි පුවත්පත් ගොනුවක් පරීක්ෂා කරමින් සිටින විට මේ නවලිය මංගල කලාපය යළිත් මගේ නෙත ගැටුණා. මම අර මගේ ලිපිය යළිත් කියවා බැලුවා. ඒ තුළ තිබුණු ආදර කතාව පමණක් නොවෙයි. එහි පසුබිමින් ප්‍රකාශයට පත්වුණු අද බොහෝ දෙනා වුවමනාවෙන්ම අමතක කරන අපේ සමාජයේ තිබුණු වාර්ගික සහ ආගමික සහජීවනය පිළිබඳ සැබෑ කතාව එවර මා දෙනෙත් ඉදිරියේ රඟ දැක්වෙන්නට පටන් ගත්තා. මං මේ බව මගේ එක පත්‍ර කලා සගයකුට පමණක් කිව්වා. ඔහු තමා හේමන්ත රන්දුණු. හේමන්ත මාවත් පුදුමයට පත් කරමින් ඒ දශක ගණනාවකට පෙර අපූරු ජීවන අත්දැකීමක් මට ලබා දුන් ප්‍රදේශයට චාරිකාවක් සූදානම් කළා. ඒ ගමනේදී මට හැඟුණේ මම දශක හතරක් පමණ කාලය හරහා ගමන් කරන්නකු වශයෙන්. අදාළ දේවස්ථාන භූමියට පැමිණි මොහොතේ පටන් මා කළේ මගේ අනාගත චිත්‍රපටයට අවශ්‍ය රූප සටහන් ඇඳ ගැනීම. නැවත නිවෙසට පැමිණි මොහොතේ පටන් මා කළේ එම චිත්‍රපටයට අදාළ තිර රචනය ලිවීම. මගේ මිත්‍රයා හේමන්ත මෙම තිර රචනයට කෙතරම් වශීව සිටියේද කියනවා නම් ඒ සඳහා නිෂ්පාදකවරයකු එකඟ කර ගැනීමටත් ඔහුට එතරම් කාලයක් ගත වුණේ නැහැ. ඒ නිෂ්පාදකයා තමා ඔහුගේ මිත්‍රයකු වූ අර්ජුන් කමලනාත්. අර්ජුන් ඊට පෙර මගේ 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සුරනිමලගේ චරිතය නිරූපණය කළා. ඒ කාලයේ පටන්ම අධ්‍යක්ෂවරයකු වශයෙන් ඔහුට මා පිළිබඳව විශේෂ පැහැදීමක්, ගෞරවයක් තිබුණා කියා මම හිතනවා. මේ සියල්ල අවසානයේ මා 'ඝරසරප' හැදුවා.

ඝරසරප යන්නෙහි අර්ථය ගැනත් බොහෝ අය කතා කරන්න පටන් ගෙන?

'ඝර' කියන්නේ සංස්කෘත භාෂාවෙන් ගෘහයට. එහෙමත් නැත්නම් ගෙයට. ඉතින් 'ඝරසරප' කියන්නේ වාච්‍යාර්ථය අනුව ගෙතුළ සිටින සර්පයා එහෙමත් නැත්නම් ගෙට රිංගන සර්පයා කියන අදහසයි. නමුත් මෙහි ධ්වනිතාර්ථය 'සිත නමැති ගෘහයට රිංගන්නා' කියන එකයි.

මේ අපූර්ව ආදර කතාව මනෝ විද්‍යාත්මක පැතිකඩක් ඔස්සේ ගෙනහැර පෑම කොයි තරම් දුරට සාර්ථක වුණාද?

එය තීරණය කළ යුත්තේ චිත්‍රපටය නරඹන රසිකයායි. හැම ආදර කතාවක්මත් මනෝ විද්‍යාත්මක නිසා 'ඝරසරප' දිහා ඔවුන්ට දැඩි අවධානයෙන් බලන්න සිදු වෙයි.

මෙය වෙනස්ම තේමාවක් සහිත නිර්මාණයක් වගේම සමාජයේ සාම්ප්‍රදායික විශ්වාසයන් මත සිදු කළ නිර්මාණයක්. මෙය සමස්ත සමාජය වැලඳ ගනීද?

මා සිතනවා මිනිසුන් එය ඉක්මනින් වැලඳ ගනියි කියලා. ප්‍රේක්ෂකයා තුළ යම් ප්‍රඥාවක් දැල්විය හැකි නිර්මාණයක් ඉතාම සරල සිනමා භාෂාවකින් ප්‍රකාශ කරන්න 'ඝරසරප' තුළින් මට හැකි වුණා කියලා මම හිතනවා. මනුෂ්‍ය විශ්වාසයන් සමඟ කටයුතු කරන නිර්මාණකරුවකු අතිශය සංයමයකින් එය කළ යුතුයි. ජන විශ්වාසයන් පිළිබඳව මා තුළ යම් ප්‍රතිරෝධයක් තිබෙනවා නම් එය පවා මා කරන්නේ ඔවුන්ගේ හැඟීම්වලට නොව බුද්ධියට ආමන්ත්‍රණය කරමිනුයි.

ජයන්ත චන්ද්‍රසිරි ගැටවර වියේ අත්විඳපු වික්‍රමයක් 'ඝරසරප' චිත්‍රපටයට ගෙනත්

'ඝරසරප' දැනට ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවර පැවැත්වීමට නියමිත' 12 වැනි ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් එවෝර්ඩ්ස්' ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරගකාරි අංශය නියෝජනය කරනවා.

මෙම චිත්‍රපට උළෙල ලෝකයේ නන් දෙසින් චිත්‍රපට පැමිණෙන ඉතාම තරගකාරි චිත්‍රපට උළෙලක්. එහි තරගකාරි අංශය සඳහා අප තෝරා ගනු ලැබීමත් එක්තරා ජයග්‍රහණයක්.

මේ නිර්මාණයේදී අතීත, වර්තමාන චරිත ගැළපුම හරිම සුවිශේෂියි. සංගීතා - කාවින්ද්‍යා - කමල් - දෙව්නක, කොහොමද මේ චරිත ගැළපුම සිද්ධ වුණේ?

චිත්‍රපටයකදී මෙසේ කිරීම ඔබ හිතනවා වගේම හරිම අවදානම් දෙයක්. මෙහිදී රූපණ ශිල්පීන් එකිනෙකාගේ ස්වරූපයන්ට සමාන වීම පමණකින්මත් මෙය සාර්ථක වන්නේ නැහැ. ඒ සඳහා වන යම් රූපණමය සාම්‍යයකුත් පැවැතිය යුතුයි. හැබැයි ඒ නළු නිළි පෞද්ගලික ගතිගුණ වශයෙන් නෙවෙයි, යම් චරිත වේදයකට අනුව කටයුතු කිරීමකින්. මා සිතන්නේ මේ සිවු දෙනාම එය හරියට කළා කියලා.

අලුත්ම දෙදෙනකු ප්‍රධාන චරිත නිරූපණයට එක් කර ගැනීමෙන් අවශ්‍ය රංගනය ඔවුන්ගෙන් ලබාගන්න ඔබට පහසු වුණාද?

ඔවුන් තමන්ගේ කාර්යය සඳහා අකුරටම කැප වී පැමිණියා. චරිතයකට ප්‍රවිෂ්ට වීමට පෙර චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීම ඉතාම වැදගත් කාරණාවක්. මා එය අවධාරණය කරන බව ඔවුන් දැන සිටියා. ඒ නිසා ඔවුන් චරිතවලට පිවිසෙමින් තම චරිත වින්දනය කළ බව මට දැනුණා. එය මගේත් නොමඳ ආස්්වාදයට හේතු වූ කාරණාවක්.

කළුකුමාර චරිතයට එකම තෝරා ගැනීම වුණේ ජැක්සන්ද?

ඔව්, එය ඉතා ගාම්භීර රූපක චරිතයක්. අනෙක් අතින් ප්‍රබල ප්‍රතිවීර චරිතයක්. මෙබඳු චරිතයක් ඊට අයත් සියලුම රූපණ වර්ණයන්ගෙන් යුක්තව නිරූපණය කළ හැකි නළුවා ජැක්සන්.

මේ නිර්මාණය තුළ කෙනකු විශේෂයෙන් කැපී පෙනෙන්නට නොදී සියල්ල එකට බැඳ තබා තියන්නට ඔබ පරෙස්සම් වුණාද?

එවැනි මට්ටම් ලෑල්ලක් මට නැහැ. හැබැයි මා සියල්ලන්ම ඉතාම ගැඹුරින් මෙහෙයවන අධ්‍යක්ෂවරයෙක්. මා සමඟ වැඩ කරන සියල්ලන්ම ඒ බව දන්නවා. ඔවුන් පැමිණෙන්නේ ඊට සූදනම්ව.

ඔබේ නිර්මාණ සඳහා ඔබම තිර රචනයේ යෙදෙන්නේ ඔබට ඔබේ අත්දැකීම් නිර්මාණයට පෙරළන්න පහසු නිසාද?

එහි යම් සත්‍යතාවක් තිබෙනවා. නමුත් කාරණය ඒකම නෙවෙයි. සිනමා තිර රචනයක් කියන්නේ ඉතා බරපතළ කටයුත්තක්. හොඳ තිර රචනයක් සොයා ගැනීමත් ඉතාම දුර්ලභ කටයුත්තක්. මා හිතනවා මා හොඳ තිර රචකයෙක් කියලා. ඒ තිර රචකයාගේ නිර්මාණ පරිකල්පනයන් තවම සිඳී නැහැයි මා හිතනවා. ඒ නිසා සිදු වී ඇත්තේ මට මගෙන් පිට යෑමට අවශ්‍යතාවක් නොමැති වීම.

ඕනෑම නිර්මාණයකට විවේචන එල්ල වෙනවා. මේ නිර්මාණයටත් පැමිණෙන හොඳ නොහොඳ විවේචන භාර ගන්න සූදානම්ද?

මා සැමදාමත් ඕනෑම විවේචනයකට සවන් දුන් පුද්ගලයෙක්. ඉතාම අවිචාරී අමනෝඥ විවේචනයන්ට පවා ඉදිරියේදීත් එහෙමම තමයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon