දමිළ සිංහල පවුල් එකට ජීවත්වන ආදර්ශ ගම්මානයට මුලපිරේ

  👤  1658 readers have read this article !
Published by : MB WEB 2018-08-21 08:02:14

ගලේවෙල - තිලක් පල්ලේගෙදර

'සැමට සෙවණ' ව්‍යාපෘතිය යටතේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්පොත ගම්මානයේ අක්කර පහහමාරක් (5.5) තුළ ඉදිකරන ආදර්ශ ගම්මානයට මුල්ගල තැබීම පසුගිය 17 වැනි දින සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය ඇමැති රංජිත් අලුවිහාරේ මහතා විසින් සිදුකරන ලදී. මෙහි නිවාස 30ක් ඉදිකරන අතර එක් නිවෙසක් ඉදිකිරීම සඳහා නිවාසලාභියකුට රුපියල් ලක්‍ෂ 5ක ණය මුදලක් 5%ක පොලියකට ලබාදෙන බවත් එම නිවෙස වර්ග අඩි 550ක බිම් ප්‍රමාණයක ඉදිවෙන බවත් මාතලේ නිවාස සංවර්ධන අධිකාරියේ අතිරේක දිස්ත්‍රික් කළමනාකාරිනි චින්තා විජේසිංහ මහත්මිය පැවැසුවාය. ඊට අමතරව මෙම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය නිවාස සැලැස්ම ආදියද ලබාදෙන බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.

මෙම ගම්මානයේ පදිංචි කරවන පවුල්වලින් 80%ක් පමණ දමිළ පවුල් වීම විශේෂත්වයකි. ඉතිරි 20% සිංහල පවුල්ය. ජනවර්ග දෙකක පවුල් එකම ගමක පදිංචි කරවීම ජාතීන් අතර සහජීවනය හා සුහඳතාව වර්ධනය කිරීමට ඉවහල් වන බව එහිදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මෙහිදී ඒ අන්තෝනිමුත්තු, බී. පුෂ්පකුමාරි හා එස්. ඉන්නාසිඅම්මා යන අය අදහස් දක්වමින් මෙසේ පැවැසූහ. නව නිවෙසක් ගැන කාලයක් තිස්සේ අප තුළ තිබූ සිහිනය සැබෑ වූයේ අදයි. කුඩා නිවාසවල නොයෙක් ගැටලු මැද ජීවත් වූ අපට දැන් සුවසේ දරුමල්ලන් හා සිංහල ජනතාව සමඟ සහයෝගයෙන් ජීවත් විය හැකියි. මෙම නිවාස ඉදිකර ගැනීමට අඩු පොලිකට ණය ලබාදුන් යහපාලන රජයටත් සජිත් ප්‍රේමදාස මහතාටත් අපි කෘතඥතාව පළ කරනවා.

මෙම නිවාස මාස තුනක් ඇතුළත ඉදිකර ජනතා අයිතියට පත්කරන බව අධිකාරියේ නිලධාරීහු පැවැසූහ. දඹුල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, ප්‍රාදේශීය දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon