දෙවියන් - මිනිසුන් අතර දිව්‍යමය බැඳීම හජ් වන්දනාවයි - ජනාධිපති

  👤  1508 readers have read this article !
Published by : MB WEB 2018-08-22 11:02:47

හජ් වන්දනාව වනාහී දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය වූ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය හජ් සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී.

 

 සුබ පැතුම් පණිවුඩය මෙසේ ය...

ලොව ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එක ම අරමුණකින් බැඳී, එක ම පූජා භූමියකට රැස් ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය උත්කර්ෂයට නංවන හජ් උත්සවය වූකලි සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උළෙලකි.

මානව ඉතිහාසයේ පවා මිනිසුන් සාමූහිකව ඒකරාශී වූයේ ආගමික පූජා කර්ම උදෙසා ය. ස්වකීය ආගම හා බැඳුණු වත් පිළිවෙත් සුරැකීම මෙන් ම ඔවුනොවුන් අතර සහසම්බන්ධය ද එදා මෙදා පූජෝත්සව මඟින් වර්ධනය විණි.

හජ් වන්දනාව වනාහි දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය වූ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන්නකි. ජාතිකත්වයේ හෝ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු බැතිමතුන් එක ම නොබෙදුණු මිනිස් ප්‍රජාවක් ලෙස මුසු වී දෙවියන් නමදින මහා ආගමික පූජෝත්සවයක් ලෙස හැඳින්විය හැකි ය.

විවිධ බෙදීම්වලින් එකම මිනිස්වග අවුලින් අවුලට පත් ලොවෙක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ හජ් උත්සවය පුළුල් ආදර්ශයක් සපයයි.

ශුද්ධ වූ මක්කම භූමිය කේන්ද්‍ර කොට ගනිමින් මනුෂ්‍යයන් අතර සාදර සමානාත්මතාවේ පණිවුඩය රැගෙන හජ් වතාවත්හි නියැළෙන මෙරට සියලු ඉස්ලාම් බැතිමතුන්ටත්, ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවටත් උතුම් ඊදුල් - අල් හා උළෙලක් වේවා යි හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon