ජල අයිතිය වෙනුවෙන් ඉහළ අධිකරණයට යනවා ගොවි නායකයෝ කියති

  👤  2166 readers have read this article !
Published by : MB WEB 2018-08-23 08:32:59

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ, තමන්කඩුව - ගාමිණි ඔබේසේකර

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ ජලාශවල ජල අයිතිය මොරගහකන්ද මහ ජලාශයෙන් උතුරු මහ ඇළටත් වයඹ මහ ඇළටත් මුදා හැරීම නිසා තමන්ට අහිමිවීමේ අවදානමක් ඉදිරි කන්නවලදී මතුවිය හැකි බැවින් වහාම මේ පිළිබඳ මහවැලි අධිකාරියේ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ වාරි ව්‍යාපාරවලට හිමිවිය යුතු ජල කෝටාව කොපමණදැයි නිශ්චිතව තීන්දු කළ යුතු බවත් මේ වසර අවසන් වන විට ඒ සඳහා එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් පොළොන්නරුවේ ජල අයිතිය වෙනුවෙන් ඉහළම අධිකරණයට යෑමට සිදුවනු ඇති බවත් පොළොන්නරුව මහ වාරි ව්‍යාපාරවල ව්‍යාපාර ගොවි සංවිධාන සභාපතිවරු පවසති.

ඔවුන් මේ බව පැවැසුවේ පොළොන්නරුව මහ දිසාපති පණ්ඩුක ශ්‍රී අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 21දා
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති අරුණ කීර්ති මහතා
පොළොන්නරුවේ ගොවි ජනතාව පරිහරණය කළේ සියයට 80ක්ම අඹන්ගඟේ හා ඇළහැර යෝධ ඇළේ වතුර. ඒ කියන්නේ අඹන් ගඟේ වතුර. අංගමැඩිල්ලෙන් හරවාගෙන ඇළහැර

ඇළෙන්. ඒත් දැන් කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. බැරි වෙලාවත් මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම නවතා දැමුවොත් එහෙම නැත්නම් ඉන්ජිනේරු මහත්තයා ගේට්ටුව වහලා දැම්මොත් අපට අඹන් ගඟෙත් දිය කඳුළක් නෑ. ඇළහැර ඇළෙත් දිය කඳුළක් නෑ. මේ ගැන සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි. අපට මොරගහකන්දෙන් කොච්චර වතුර දෙනවාද කියලා ගිවිසුමකට එන්න ඕන. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ තීන්දුව
පොළොන්නරුවේ ජල අයිතිය ලබාදීම ගැන මහ දිසාපතිතුමා වගකියන්න ඕන. අපිට ලබන ජනවාරි වෙනකොට තීන්දුවක් ලැබුණේ නැත්නම් රටේ ඉහළම අධිකරණයට යන්න වෙනවා.

ගිරිතලේ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ශාන්ත ගුණසේකර මහතා
මොරගහකන්ද ජලාශය පිරෙන්නේ පොළොන්නරුවේ මහ වැව් හතරට එන ජල ධාරාවන්ගෙන්. ඒ නිසා අපට හිමි කෝටා එක ගැන තීන්දුවක් දැන්ම ගන්න ඕන. මේ ගැන සාකච්ඡාවක් දෙන්න අපට මහවැලියේ ඉහළම නිලධාරීන් එක්ක.

මින්නේරිය ව්‍යාපාරයේ ගොවි සංවිධානයේ සභාපති ගාමිණි ආරියරත්න මහතා
අපි ඉල්ලීමක් කරනවා මොරගහකන්ද උතුර ඇළ සංවර්ධනය කළාට පස්සේ මොරගහකන්දෙන් පොළොන්නරුවට හිමි ජල අයිතිය ගැන පැහැදිලි එකඟතාවකට එන්න අපි සමඟ කතා කරන්නේ. අපේ කෝටා එක කොච්චරද? පොළොන්නරුවේ ජල අයිතිය විස¼දා දෙන්න දිසාපතිතුමනි, ඔබතුමා මැදිහත් වෙන්න අපට සාකච්ඡාවක් අරන් දෙන්න. නැතිනම් අපට අනාගතයේ වතුරට මරාගන්න සිද්ධ වෙයි.

පොළොන්නරුව මහ දිසාපති පණ්ඩුක
ශ්‍රී අබේවර්ධන මහතා

ඒ මොහොතේම මහවැලි අධිකාරියේ ඉහළම නිලධාරියකුට දුරකථනයෙන් කතා කොට ගොවීන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව දිසාපතිවරයා කීය. මම දුරකථනයෙන් කතා කළා. ලබන බ්‍රහස්පතින්දා සවස 2.00ට පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේදී මේ පිළිබඳ මූලික සාකච්ඡාවකට නිලධාරියෙක් එනවා ඊට සහභාගි වෙන්න. ඊට පස්සේ ඉදිරි ක්‍රියාමාර්ගවලට යමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon