අඩුපාඩු අඩුවක් නැති ලෝක පූජිත නගරය මහඉලුප්පල්ලම

  👤  2291 readers have read this article !
Published by : MB WEB 2018-08-23 09:11:55

ගල්ගමුව - ජයසේන බණ්ඩාර

මහඉලුප්පල්ලම යනු ලෝක පූජිත නගරයකි. ගොවිතැන් කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්නා එම්.අයි. බීජ වර්ග රටට හඳුන්වා දෙන්නේ මහඉලුප්පල්ලම බීජ පර්යේෂණ ආයතනයෙනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය බීජ ගොවිපොළ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ආදී ආයතන පිහිටා ඇත්තේ මහඉලුප්පල්ලම නගරයේය.

නමුත් මහඉලුප්පල්ලම නගරයේ මූලික පහසුකම් කිසිවක් නොමැති නිසා දිනපතා නගරයට පැමිණෙන පිරිස් නිරන්තරයෙන් පීඩාවට පත්ව සිටිති. ලක්‍ෂ හතළිස් පහක පමණ මුදල් කන්දරාවක් වැය කර මහඉලුප්පල්ලම නගරයේ පොදු වැසිකිළියක් ඉදිකර ඇත. බැලූ බැල්මට එම වැසිකිළියට දකින්නට ලැබෙන්නේ සුපිරි නිල නිවාසයක් ලෙසිනි. වසර හතකට පමණ පෙර ඉදි කරන ලද වැසිකිළියට අද වන තුරුත් ජල පහසුකම් නොමැත.

නගරයේ අඩුපාඩු පිළිබඳ නගරයේ පදිංචිකරුවකු වන ඒ. ගුණසේකර මෙසේ පැවැසුවේය.
නගරයට ජල පහසුකම් නැතිකම ලොකු අඩුපාඩුවක්. බොන්න වතුර ගේන්නේ කිලෝමීටර් තුන හතරක් දුරකින්. නගරයේ පොදු ළිඳක් තියෙනවා. ඒත් ටවුමෙ පදිංචි අයටවත් පිටින් එන අයටවත් වතුර පහසුකම් නැහැ. පොදු වැසිකිළිය පාවිච්චි කරන්නේ නැතිව අත්හැරලා දාලා තියෙනවා, වතුර නැති නිසා.

ටී. කරුණාරත්න පවසන්නේ මෙවැනි කතාවකි. මහලුප්පල්ලම ටවුමේ කඩ කාමර අයිති ඉපලෝගම ප්‍රාදේශීය සභාවට. අවුරුදු ගාණකින් කඩ කාමර අලුත්වැඩියා කරලා නැහැ. හුඟක් කඩ කාමරවල වහලවල් දිරාපත් වෙලා. කඩා වැටෙන්න ආසන්නයි. බිත්ති පුපුරලා. අලුත්වැඩියා කරන්න කියලා විස්තර ලියාගෙන ගිහින් දැන් අවුරුදු තුනක් විතර වෙනවා. ඒත් තවම අලුත්වැඩියාවක් නම් කෙරුණේ නැහැ.

නගරයේ ඇති දහසක් අඩුපාඩු නිසා නගරයට පැමිණෙන පිරිස් නිරන්තරයෙන් පීඩාවට පත්වෙති.

අලුතින් හදන ලද වැසිකිළිය සහ පරණ වැසිකිළිය යන වැසිකිළි දෙකම වතුර නැතිව පාවිච්චි කිරීමට නොහැකියාව පාළුවට ගොස් විනාශ වෙන අයුරු දක්නට ලැබේ. ලෝක පූජිත නගරයක් වුවත් මහඉලුප්පල්ලම නගරය අඩුපාඩුවලින් අඩුවක් නැති නගරයකි. දවසින් දවස අඩුපාඩු වැඩිවෙනවා මිස අඩුවීමක් නම් දක්නට නොමැති නගරයේ ගැටලු පිළිබඳ විමසූ විට ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා මෙසේ පැවැසුවේය.

නගරයේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. දැනට සංවර්ධන යෝජනා අරගෙන සැලසුම් සකස් කරලා තියෙනවා. ඒත් ප්‍රදේශීය සභාවට අවශ්‍ය මුදල් නැහැ. පළාත් සභාවෙන් මුදල් ඉල්ලලා තියෙනවා. මුදල් ලැබුණ පසු අඩුපාඩු සකස් කිරීමට පියවර ගන්නවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon