වෙහෙරබැඳිවැව කුඹුරු අක්කර 80ක පීදුණු ගොයම ජලය නැතිව පිදුරු වෙලා

  👤  1994 readers have read this article !
Published by : MB WEB 2018-08-23 10:21:43

කරුවලගස්වැව - එස්. ලියනාරච්චි

කරුවලගස්වැව ඉහළපුලියන්කුලම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව වෙහෙරබැඳිවැව ජලාශය යටතේ මෙම යල කන්නයේ සිදුකළ අක්කර 80ක පමණ වී වගාව ද ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විනාශ වූ බව එම ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්. ගුණරත් බණ්ඩා මහතා පැවැසීය.

ඒ අනුව පෙරේදා (20දා) අදාළ ප්‍රදේශයට ගිය වාර්තාකරුට වෙහෙරබැඳිවැව කෙත්යායට සිදුවී ඇති විනාශය සියැසින්ම දැක ගත හැකි විය. කෙත්යායේ අස්සක් මුල්ලක් නෑර පීදුණු ගොයම පිදුරු බවට පත්වී තිබේ. තැන තැන සුළුවෙන් හෝ ඉතිරිව ඇති ගොයමටද එම ඉරණමම අත්වෙමින් තිබේ.

වෙහෙරබැඳිවැව ගොවි සංවිධානයේ සභාපති ඩී.එම්. ගුණරත් බණ්ඩා මහතාට අනුව පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ පැවැති නියඟයෙන් පසුව ඉකුත් මැයි මාසයේදී ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවට වෙහෙරබැඳි ජලාශය ද දින ගණනාවක්ම වාන් දමා ඇත. ඒ අනුව එතෙක් කන්න 4ක් තිස්සේ කැලෑ වැදී තිබූ මෙම කෙත්යාය ද දැඩි පරිශ්‍රමයක් දරා කඩිනමින් එළිපෙහෙළි කර වී වගා කිරීමට ද ගොවීන් පියවර ගෙන ඇත.

නමුත් වැසි ජලය හැරුණු කොට විකල්ප ජල සම්පාදන ක්‍රමයක් නැති වෙහෙරබැඳි වැව ජලාශයේ ජල ධාරිතාව වගාව පූදින අවස්ථාව වන විට අවසන් වූ බව ද සභාපතිවරයා කීය.

මේ පිළිබ¼දව අප පුත්තලම දිස්ත්‍රික් ගොවි ජන සංවර්ධන නිලධාරි එස්.පී.පී.එන්. ජයන්ත මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඒ මහතා කියා සිටියේ මෙවැනි වගා හානියකදී රක්‍ෂණ වන්දි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අදාළ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය හරහා එම ගොවීන්ට වන්දි ඉල්ලීම් කරන ලෙසත්ය.

එවිට අවශ්‍ය විමර්ශන සිදුකර අදාළ ඉල්ලුම් පත්‍ර කෘෂි රක්‍ෂණ මණ්ඩලය වෙත යොමු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon