ඉන්දු පාකිස්තාන් මතභේද සංවාදයකින් නිරාකරණය කරගත යුතුයි ඉම්රාන් ඛාන් කියයි

  👤  1531 readers have read this article !
Published by : MB WEB 2018-08-23 14:19:16

අතරමඟ නතර වුණු ඉන්දියා-පාකිස්තාන් සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට තමා කැමැති බව පාකිස්තානයේ නව අගමැති වශයෙන් නොබෝදා පත්වුණු ඉම්රාන් ඛාන් ඊයේ (22) ප්‍රකාශ කළේය. දෙරට අතර පවත්නා කාශ්මීර ප්‍රශ්නයද ඇතුළු සියලු මතභේද නිරාකරණය කරගැනීම සඳහා රටවල් දෙකම යළි සංවාදයක යෙදිය යුතු යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

පසුගිය සෙනසුරාදා පාකිස්තානයේ අගමැති ධුරයෙහි දිවුරුම් දීමෙන් පසු ඉන්දු-පාකිස්තාන් සම්බන්ධතා ගැන පළමුවැනි වරට සිය අදහස් පළ කළ අගමැති ඉම්රාන් ඛාන් දිළිඳුකම පිටුදැකීමත්, ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමත් සඳහා දෙරට අතර පවත්නා මතභේදකාරී වෙනස්කම් සංවාදය මඟින් නිරාකරණය කරගත යුතු යැයිද ප්‍රකාශ කළේය. එමෙන්ම දෙරට අතර වෙළෙඳ ගනුදෙනු යළි ආරම්භ කළ යුතු බවත් ඔහු පැවැසීය. අගමැතිවරයා එම අදහස් ඉංගී්‍රසි සහ උර්දු යන භාෂා දෙකෙන්ම ට්විටර් පණිවුඩයකින්ද ප්‍රකාශයට පත් කළේය.

මෑත වසර කීපය තුළදී ඉන්දු-පාකිස්තාන් සබඳතා සහමුලින්ම කඩාකප්පල් වී ගිය අතර පාකිස්තානය මූලස්ථානය කරගත් කණ්ඩායක් 2016දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරිමත්, ඔත්තු බැලීමේ චෝදනාවක් මත කුල්භූෂාන් අදාව නම් ඉන්දියානුවාට පාකිස්තාන් යුද අධිකරණයකින් මරණ දඬුවම පැනවීමත් ඊට හේතු විය. එපමණක් නොව දේශ සීමාවේ සටන් විරාම එකඟතාව උල්ලංඝනය කිරීම ගැන දෙරටම නිතර එකිනෙකාට චෝදනා එල්ල කරගත්තේය.

අසල්වැසි සියලු රටවල් සමඟ 'ඉතාම හොඳ' සුහද සම්බන්ධතා පවත්වා ගන්නට තමා කටයුතු කරන බව අගමැති ඛාන් පදවියෙහි දිවුරුම් දීමෙන් අනතුරුව කළ පළමුවැනි කතාවේදීම අවධාරණය කළේය. නව අගමැති 'සාම දූතයෙක්' යැයි දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ නව්ජෝට් සිං සිදු ප්‍රකාශ කළ අතර අගමැති ඔහුට ප්‍රශංසා කළේය.
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු නතර වීමෙන් පසු දෙරටේම ආර්ථිකය එක් එක් ප්‍රමාණවලින් පිරිහුණු බවද සඳහන් කළ අගමැති ඉම්රාන් ඛාන් යළිත් එම ගනුදෙනු ආරම්භ කොට දෙරටේම ආර්ථිකය නැංවීම තමාගේ අරමුණ බවද අවධාරණය කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon