මරුවාට අතවනන හසලක මහ ඇළ පාලම

  👤  1517 readers have read this article !
Published by : MB WEB 2018-08-24 11:41:11

හසලක - සුනිල් ඉහළගෙදර

ගොවි පවුල් අටක ජනතාවක් ජීවත්වන ගම්ගොඩැල්ලේ පාසල් දරුවන්ට සහ ගැමියන්ට ප්‍රධාන මාර්ගයට පිවිස ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට එකේ ඇළ හරහා කිලෝ මීටරයක පමණ දුර වට රවුම් පාරකින් පැමිණිය යුතුය.

එම ගමනද පා ගමනින් යා යුතු මාර්ගයකි. එම ගමන අපහසු නිසා මීටර් 200කින් පමණ කෙටි පාරකින් හෙට්ටිපොළ මාර්ගයට පිවිසීම සඳහා ගැමියන් විසින් වනයෙන් කපාගත් ලී සහ ලෑලි යොදාගෙන දෙකේ ඇළ මහ ඇළ හරහා තාවකාලික පාලමක් ඉදිකරගනු ලැබුවේ මීට වසර කීපයකට ඉහතදීය.

හසලක ඩී දෙකේ ඇළ ගමට ඉහළින් පිහිටි මෙම ගම්මානයේ ගොවි ජනතාවගේ ගමනාගමන කටයුතු පහසු කර ගැනීම සඳහා හසලක මහඇළ හරහා එම ගැමියන් විසින් ඉදිකරගනු ලැබූ අනාරක්ෂිත පාලමින් එගොඩ මෙගොඩ වීම අද මරුවාට අතවැනීමක් වන තත්ත්වයට පත්ව ඇති බව ගම්වාසීහු පවසති.

කුඩා පාසල් දරුවන්, ගැබිනි මාතාවන් ඇතුළු එම ගමේ ජනතාව සිය එදිනෙදා කටයුතුවලට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම පාලම දෛනිකව භාවිත කරනු ලබති. පාලම මතින් ගමන් කිරීමේදී යම් අතපසුවීමකින් අයකුගේ පා පැටලී වැටුණහොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ අසල්වැසියකුගේ පිහිට නොලැබුණහොත් ඇළේ ජල කඳට හසුවී ජීවිතයෙන් සමුගන්නට හෝ වෙනත් ආපදාවකට මුහුණපෑමටය. එවැනි තත්ත්වයන් පසුගිය කාලය පුරාවට සිදුවී ඇති බව එම්.ජී. කරුණාරත්න මහතා පැවැසීය.

ගැමියන් වසර ගණනාවක සිටම පත්ව සිටින මේ තත්ත්වයෙන් මුදාගෙන ආරක්ෂිත ගමනක් යෑමට අනාරක්ෂිත ලී පාලම වෙනුවට ආරක්ෂිත ඇඳි ඇති කුඩා පාලමක් ඉදිකර දීමට පියවර ගන්නා මෙන් එම ගම්වාසීහු ආපදා අංශ වෙත අවධානය යොමු කරවති.

මෙම අනාරක්ෂිත පාලම පිළිබඳව අප මධ්‍යම පළාත් සභා මන්ත්‍රි විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මේ වනවිටත් මිනිපේ කොට්ඨාසයේ නව පාලම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එම ව්‍යාපෘතිය යටතේ මෙම කුඩා පාලම සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සකස් කර ඇති බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon