මල්ලි පහළ තැනක ඉන්නවට මම කැමැති නැහැ

  👤  1841 readers have read this article !
Published by : MB WEB 2018-08-27 13:42:22

කොහොමද ජනිත්?

වරදක් නෑ. හොඳින් ඉන්නවා.

මේ දවස්වල වැඩකටයුතු ජයද?

සිරස නාළිකාවේ විකාශය වන නීල පබළු නාට්‍යයේ රූගත කිරීම්වලට එකතුවෙලා ඉන්නේ. ඊට අමතරව දේදුනු වර්ෂා කියලා අලුත් ටෙලි නාට්‍යකටත් රංගනයෙන් එකතුවෙලා ඉන්නවා.

ජනිත් අලුත් චිත්‍රපටයකටත් එකතුවෙලා කියලා ආරංචියි.

ඔව්. රෂ් කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. එහි රූගත කිරීම් බොහෝදුරට ඉවරයි. දැන් තියෙන්නේ ඩබින් වැඩකටයුතු ටිකක් කරන්න.

නීල පබළු ටෙලියේ 'රාජ්' ප්‍රේක්ෂකයෝ දිනාගෙනද?

නීල පබළු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ සඳුන් රාජකරුණා. මම ඔහුත් එක්ක කලින් වැඩ කරලා තියෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ ඉතින් ඊට පස්සේ ටෙලි නාට්‍යට පස්සේ මේ නාට්‍යට සම්බන්ධ වුණේ. 'රාජ්' කියන චරිතය මම ආසා කරපු චරිතයක්. ඒ චරිතයට අදාළ ලක්ෂණ මේ වෙනකොට ගොඩනඟාගෙන යනවා. මෙගා නාට්‍යයක් විදියට මේ නාට්‍යටත් ඒ වගේම මගේ චරිතයටත් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්.

ජනිත් කියන්නේ ප්‍රධාන චරිත හොයාගෙන යන කෙනෙක් නෙවෙයිද?

මම ප්‍රධාන චරිතයද උප ප්‍රධාන චරිතයද කියලා හිතන්නේ නෑ. උප ප්‍රධාන චරිතයක් වුණත් ඒක වෙනම චරිතයක් ලෙස ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් මම ඒ චරිතය කරනවා. නමුත් ප්‍රධාන චරිතයක නිකන්ම නිකන් යාළුවා වෙන්න කිව්වොත් ඒ වගේ චරිත නිකන් කරලා තේරුමක් නෑ.

ජනිත් නිතර නිතර හැම නිර්මාණයකින්ම පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි. එහෙම වෙන්නේ ජනිත්ට වැඩ අඩුද? නැත්නම් ලැබෙන දේවල්වල තෝරා ගැනීම් කරනවද?

වැඩවල අඩුවක් නෙවෙයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ලංකාවේ අවුරුද්දකට චිත්‍රපට කීයද හැදෙන්නේ. ඒ අතරින් අපිව නිර්මාණ කීයකටද තේරෙන්නේ. එහෙම බැලුවම එක එක තැන්වලින් පෙරිලා ඇවිත් අපිට අවුරුද්දකට කරන්න වෙන්නේ එක චිත්‍රපටයක් වගේ. ඒ නිසා චිත්‍රපටවල ලොකු තෝරා ගැනීම් කරන්න බැහැ. ප්‍රධාන චරිතයට යන්න නම් තව කල් තියෙනවා. සිනමාවේ හීරෝ වෙන්න ලේසි නෑ. ඒකට හොඳ පෞරුෂත්වයක් වගේම බොහෝ දේවල් තියෙන්න ඕන. ටෙලිනාට්‍ය භාර ගනිද්දි නම් මම තෝරා ගැනීමක් කරනවා.

චිත්‍රපට තෝරන්නේ නැති ජනිත් ටෙලි නාට්‍ය තෝරන්නේ ඇයි?

දැන් හැම නාට්‍යයක්ම කරන්න ඕනේ නෑ. ටෙලි නාට්‍යවල වැඩ කරලා ලබාගෙන තියෙන අත්දැකීම් එක්ක හොඳ චරිත තෝරාගෙන කළොත් හොඳයි කියන තැන මම ඉන්නවා. මම කරන දේ තුළ මටත් වැඩක් වෙන දේවල් කරන්න ඕනේ. කරන්නන් වාලේ දේවල් කරලා තේරුමක් නෑ.

මෙදා සැරෙත් ජනිත්, සංකේත් දෙන්නම සුමති ජනප්‍රිය සම්මානයේ අවසන් පිරිස අතරට ඇවිත් ඉන්නවා. ජනිත් කියන්නෙත් ජනප්‍රිය සම්මානය වෙනුවෙන් දඟලන කෙනෙක්ද?

අවුරුදු තුනක් තිස්සේ මල්ලීයි මමයි ජනප්‍රිය සම්මානයට නිර්දේශ වෙනවා. හැබැයි මම ජනප්‍රිය සම්මානය පස්සේ යන කෙනෙක් නෙවෙයි. මට එස්.එම්.එස්. ගහන්න, කූපන් දාන්න කියලා මම දඟලන්නේ නැහැ. මම මගේ දුරකථනයෙන්වත් එක එස්.එම්.එස්. එකක්වත් යවාගෙන නැහැ. මම හිතන්නේ මල්ලිත් එහෙමයි. කොහොම වුණත් කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඕනම සම්මාන උළෙලක් පවත්වන එක හොඳයි. මම ඒක අගය කරනවා.

ජනිත් සහ සංකේත් දෙන්නගෙන් වැඩිපුරම ජනප්‍රිය කවුද?

අපි දෙන්නටම ප්‍රේක්ෂකයෝ දෙපිරිසක් ඉන්නවා. ප්‍රේක්ෂකයෝ අපි දෙන්නට දෙවිධියකට ආදරෙයි. කවුරු හරි කියනවා නම් මල්ලී ජනප්‍රියයි කියලා ඒ වෙනුවෙන් මම සතුටු වෙනවා. එයා ක්ෂේත්‍රයට එන්න බෑ කියද්දි එයාව මෝටිවේට් කරලා ක්ෂේත්‍රයට ගෙන්න ගන්නත් මම උනන්දු වුණා. අයියා විදියට මල්ලි මට වඩා පහළ තැනක ඉන්නවට මම කැමැති නැහැ. හැබැයි එයා වගේම මමත් මහන්සි වෙලා වැඩ කරනවා.

සංකේත් හිටිහැටියේ ලංකාවෙන් ගියේ ඇයි?

හිටිහැටියේම නෙවෙයි. මල්ලී මාස දෙකක වගේ කාලයකට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එංගලන්තයට ගිහින් ඉන්නේ.

සංකේත් ලංකාවෙන් ගිහින් නිර්මාණවලට පොලු තිබ්බා කියන්නේ ඇත්තද ජනිත්?

නැහැ. මල්ලී පොලු තිබ්බේ නැහැ. මල්ලී ඒ නිර්මාණකරුවන්ට කියලා තිබ්බේ එයා ඒ කාලේ ලංකාවෙන් යන්න ඉන්නේ කියලා. මල්ලී බෑ කියද්දි ඒ නිර්මාණවලට ඒ අය කතා කරලා තිබ්බේ. මල්ලී රට ගියාම අපි ඒ අදාළ නිර්මාණකරුවන්ව දැනුවත් කළා. ඔය ප්‍රශ්නය වුණේ නිර්මාණ දෙකකට.

ජනිත්ට විදේශගත පෙම්වතියක් ඉන්නවා කියන්නේ ඇත්තද?

ඕනම දෙයක් යම් ස්ථාවරයකට හරි තැනකට ආවම කියන එක තමයි හරි. සම්බන්ධතා තියෙනවා. නැති වෙනවා. ඒවා හරි වෙලාවෙදි කියන එක තමයි හොඳම. මටත් ජීවිතය ගැන බලාපොරොත්තු තියෙනවා.

මොනවද ඉදිරි බලාපොරොත්තු?

ඩාන්සින් කොන්සර්ට් එකක් සැලසුම් කරනවා. ඒක තවත් ආටිස්ට්ලා කිහිප දෙනෙක් එක්ක විවිධ රටවලට ගෙනියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊට අමතරව මගේම වේදිකා නිෂ්පාදනයක් කරන්නත් අදහසක් තියෙනවා. ඒ වැඩත් එක්ක හිමින් සැරේ හැම දෙයක්ම කරගෙන යනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon