දිනේෂ් රෙෂානිගේ සිහිනය හැබෑ කරලා

  👤  2202 readers have read this article !
Published by : MB WEB 2018-08-30 10:08:07

'සිහිනය මාගේ' කියලා රෙෂානි හා හා පුරා කියලා කිව්වේ මොකද්ද?

'සිහිනය මාගේ' කියන්නේ මම රසිකයන් අතරට ගෙනාපු මුල්ම ගීතය. මගේම ගීතයක් කරන්න මට සිහිනයක් තිබුණා. ඒ හීනය තමයි මේ හැබෑ වෙලා තියෙන්නේ. මගේ සිහිනය වෙනුවෙන් ඊටම ගැළපෙන පද මාලාවක් මට ලැබුණා. ඒක මට ආශීර්වාදයක්. ඉතිං එය ආදර ගීතයක් විදියට ප්‍රේක්ෂකයන් අතරට ගේන්න මට පුළුවන් වුණා.

එතකොට රෙෂානිගේ හීනේ හැබෑ කරගන්න අඩිතාලම දැම්මේ කවුද?

මට ගීතයක් කරන්න ඕනේ කියලා මම කිව්වේ දිනේෂ් සුබසිංහ අයියාට. එයා තමයි මේ ගීතයේ මෙලඩි එක කළේ. ආරියවංශ කුලතිලක සහ දිනේෂ් අයියා එකතු වෙලා තමයි මේ ගීතය ලිව්වේ. දිනේෂ් අයියා මට කිව්වා මේ ගීතය ඩුවට් එකක් විදියට කරමු කියලා. ඉතිං මේරියන්ස් බෑන්ඩ් ඒකේ ගිවන්ත ප්‍රනාන්දු එක්ක තමයි මම මේ ගීතය ගායනා කළේ.

රෙෂානිගේ ජීවිතේ ඇත්දැකීමක්ද මේ ගීතයේ හැංගිලා තියෙන්නෙ?

මමත් ආදරය විඳින කෙනෙක්. හැමෝම ආදරය කරන්න ආසයි. ආදරයට ආසයි. ඉතිං මේ ගීතය ඒ අයට දැනෙන ගීතයක් වෙයි.

මේ ගීතය ජනප්‍රිය වෙන්න සංගීතය ගොඩක් බලපාලා තියෙනවා නේද?

ඔව්, දිනේෂ් අයියාගේ මෙලඩි එකට ගොඩක් අය කැමැතියි. මේක හින්දි ආරකට යන ගීතයක්. ගීතයේ විෂුවල් එක නැතුව මේ ගීතය ඇහුවත් දැනෙන ගීතයක් කියලා තමයි ගොඩක් අය කිව්වේ.

මේ ආදර ගීතයේ මියුසික් වීඩියෝවත් ඉතාම සංයමයෙන් කරලා තියෙනවා. දැන් යන වීඩියෝ රැල්ලෙන් මිදිලා මේ වගේ මියුසික් වීඩියෝවක් කරන්න හිතුවේ?

දැන් පවුලක් විදියට එකට ඉඳගෙන බලන්න පුළුවන් වීඩියෝ අඩුයි. වැරදි ආදර්ශ දෙන දේවල් තමයි ගොඩක් තියෙන්නේ. අඬන ගීත රැල්ලෙන් සහ මේ දැන් යන වීඩියෝ රැල්ලෙන් වෙනස් වෙලා ලස්සන නිර්මාණයක් කරන්නයි ඕන වුණේ. ඒක ගොඩක් අය ආදරයෙන් වැලඳ ගත්තා.

පළමු ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම මේ වෙනකොට වෙබ් සයිට් කිහිපයකටත් ගීතය දීලා තියෙනවා. ඒ හරහා එන ප්‍රතිචාරත් ඉතාම හොඳයි.

රෙෂානිගේ ගීතයට මාධ්‍යවලින් ලැබෙන ඉඩ ගැනත් සතුටු වෙන්න පුළුවන්ද?

ඔව්, මම මේ වෙනකොට නාළිකා කිහිපයකටම මගේ ගීතය දීලා තියෙන්නේ. හිරු ටීවී චාට් ෂෝවල මේ වෙනකොට ගීතය ප්‍රචාරය වෙනවා. මාත් එක්ක දැවැන්තයෝ දෙන්නෙක් ඉන්න නිසා මට මාධ්‍යවලිනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා.

සංගීත ක්ෂේත්‍රයට එකතු වුණේ හැදෑරීමක් එක්කද?

මට පුංචි කාලේ ඉඳන් ගායන හැකියාව තියෙනවා. මම සාමාන්‍ය පෙළ වෙනකල්ම සංගීතය ඉගෙන ගත්තා. දැන් මම නෙලූ අධිකාරි මිස්ගෙන් වොයිස් ට්‍රේනින් හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

රෙෂානි වැඩිපුරම කැමැති සංගීත ශෛලියක් තියෙනවාද?

මට ඕනම ශෛලියක ගීත ගායනා කරන්න පුළුවන්. ගොඩක් අයට සජීවීව ගීත ගායනා කරන්න අපහසුයිනේ. නමුත් මට පොඩි කාලේ ඉඳන් බය නැතුව සජීවී ගායනයන් කරන්න පුළුවන්.

රෙෂානි වෘත්තීයමය ගායිකාවක් නෙවෙයි නේද?

මම දැනට කොමර්ෂල් බැංකුවේ විධායක නිලධාරිනියක් විදියට සේවය කරන්නේ. ඒ අතරතුරේ විනෝදාංශයක් විදියට තමයි ගීත ගායනා කරන්නේ. මම පාසල් යන කාලෙත් ගීත ගායනයෙන් සමස්ත ලංකා තරග ජයග්‍රහණය කරලා තිබෙනවා. බැංකු ක්ෂේත්‍රයේ වැඩවලදීත් ගායනයට සම්බන්ධ වෙනවා.

ගායන ක්ෂේත්‍රය වෘත්තිය ලෙස තෝරා නොගත්තේ ඇයි?

මම ගායන ක්ෂේත්‍රයට එනවාට අම්මලා තාත්තලා එතරම් කැමැති වුණේ නෑ. ඉතිං මම බැංකු ක්ෂේත්‍රය තෝරාගෙන ඒ පැත්තෙන් ඉදිරියට ගියා. ගායන හැකියාව පැත්තකින් තියන්න වුණා. ඊට පස්සේ බැංකු ක්ෂේත්‍රයේ ගොඩක් යාළුවෝ මට කිව්වා ගායන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. බන්දුල නානායක්කාරවසම්, දර්ශන වික්‍රමතුංග වැනි බොහෝ දෙනකුගේ ආශීර්වාදය මට ලැබුණා. මගේ ගායන හැකියාව එළියට ගන්න.

එහෙනම් පැත්තක තිබ්බ ගායන හැකියාවෙන් දැන් ප්‍රයෝජනයක් ගනියි නේද?

ඔව්, බන්දුල නානායක්කාරවසම් මට ගීතයක් ලියලා දුන්නා. ඒ ගීතය බොහෝවිට දිනේෂ් අයියාම සංගීතවත් කරයි. දැනට මට විවිධ වැඩසටහන්වලටත් ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. මගේ රැකියාව කරන ගමන් සංගීත ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනවා.

රෙෂානිට ස්තුති කරන්නත් පිරිසක් ඇති?

ඔව්, මේ ගීතයේ මෙලඩි එක කරපු දිනේෂ් අයියාට ස්තුති කරන්න ඕන. ගිවන්ත අයියාට වගේම හරි ක්‍රියේෂන් එකටත් මේ වෙලාවේ ස්තුති කරනවා. ඒ වගේම බැංකුවේ මිත්‍රයෝ, පවුලේ අය හැමෝටමත් මට මේ ගමනට ශක්තියක් වුණු හැමෝටමත් ස්තුති වන්ත වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon