ගයන්තිකා හා ඉඳුනිල් මීටර් 800 අවසන් තරගයට

  👤  638 readers have read this article !
Published by : MB WEB 2018-08-28 11:18:52

ඉන්දුනීසියාවේ ජාකාර්තා හා පලෙම්බාන්ග් නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වන ඊයේ (27දා) ග්ලෝරා බන්ග් කර්නෝ ක්‍රීඩා පිටියේදී පැවැති මීටර් 3000 බාධක දිවීමේ කාන්තා අවසන් තරගයේදී වි.9:54.65ක කාලයක් සටහන් කරමින් 6 වැනි ස්ථානය දිනාගැනීමට නිලානි රත්නායක සමත්වූවාය.


ඉන්දුනීසියානු වේලාවෙන් ඊයේ රාත්‍රි 7.15ට ආරම්භ වූ මෙම අවසන් තරගයේදී පළමු මීටර් 2000 ඇතුළත නිලානි පළමු පොකුරේ සිටියද ඉන් අනතුරුව ටිකෙන් ටික තරගය ඇයගෙන් අතහැරුණු බව පෙනුණි. එහි රන් පදක්කම බහරේනයේ වින්ෆර්ඩ් යාවිටත්, පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් ඉන්දියාවට හා වියට්නාමයට හිමිවිය.


මේ අතර ඊයේ පැවැති මීටර් 800 කාන්තා හා පිරිමි ඉසව්වලදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ගයන්තිකා අබේරත්න හා ඉදුනිල් හේරත් සමත්වීමද විශේෂත්වයකි.
එහිදී මීටර් 800 කාන්තා තෙවැනි මූලික තරගයට ඉදිරිපත් වූ ගයන්තිකා අබේරත්න වි.2:06.31ක කාලයක් සටහන් කරමින් තෙවැනි ස්ථානය දිනාගත් අතර, හොඳම කාලය සටහන් කළ තරගකාරීයන් අතුරින් 6 වැනි ස්ථානයට පත්ව තිබේ.


ඉන් අනතුරුව පැවැති මීටර් 800 පිරිමි පළමු මූලික තරගයේදී වි.1:47.54ක කාලයක් සටහන් කර තෙවැනි ස්ථානය ලැබූවද හොඳම කාලය සටහන් කළ තරගකරුවන් අතර තෙවැනි ස්ථානයට පැමිණීම හේතුවෙන් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉඳුනිල් හේරත් සමත්ව සිටී. ගයන්තිකා හා ඉඳුනිල් සහභාගි වන අවසන් තරග අද (28දා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.00ට හා 6.10ට පැවැත්වේ. කෙසේ වෙතත් මීටර් 800 කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිනියක්ව සිටි නිමාලි ලියනාරච්චි වි.2:06.74ක කාලයක් සටහන් කළද අවාසනාවන්ත ලෙස අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.


ඒ අනුව ඊයේ (27දා) පෙරවරුවේදී පැවැති මීටර් 800 කාන්තා පළමු මූලික තරගයට සහභාගි වූ නිමාලි ලියනාරච්චි එහි තෙවැනි ස්ථානයට පත්විය. ඇය සටහන් කළ මෙම කාලය සමස්ත තරගකාරීයන් අතර 7 වැනි හොඳම කාලය වුවද එක මූලික තරගයකින් දෙදෙනකු සුදුසුකම් ලබන බැවින් (කුමන කාලයක් සටහන් කළද) නිමාලිට අවසන් තරගයට යාමේ අවස්ථාව අහිමි වී ගියේය.


තවද ඊයේ ජේ.අයි.එක්ස්පෝ කෙමොයොරාන් පිටියේදී පැවැති රිද්මයානුකූල ජිම්නාස්ටික් සුදුසුකම් ලැබීමේ තරගයකදී ලකුණු 35,600ක් ලබාගනිමින් 24වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාවේ ඇනා මේරි අද (28දා) පැවැත්වෙන අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවාය.


කි.ග්‍රෑ. 84 බර පන්තිය යටතේ කරාතේ පිරිමි අවසන් 16 දෙනාගේ තරගයකට ඊයේ (27දා) සහභාගි වූ කවිඳු ජයකොඩි චීනයේ මාෂෙයුන් හමුවේ ලකුණු 2-0ක පරාජයක් අත්කරගනිද්දී කි.ග්‍රෑ. 50 බර පන්තිය යටතේ කරාතේ කාන්තා අවසන් 16 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාවේ දිනුෂා කුමාරි ඉන්දුනීසියාවේ සෘනීතා සරී හමුවේ දරුණු ප්‍රහාරයකට ලක්වෙමින් ලකුණු 8-0කින් පරාජය ලැබීය.

තරග ප්‍රතිඵල
මීටර් 800 (කාන්තා) පළමු මූලික තරගය -
1. යෝටා මර්ටා (බහරේනය) _ වි:2:04.35, 2. ෂියෝමි අයානෝ (ජපානය) _ වි:2:04.46, 3. මුකෂිවා මගරීටා (කසකස්තානය) _ වි:2:04.52, 4. නිමාලි ලියනාරච්චි
(ශ්‍රී ලංකාව) _ වි:2:06.74
දෙවැනි මූලික තරගය _
1. වෑන් චුන්වූ (චීනය) _ වි:2:08.99, 2. යූ තී ලිව් (වියට්නාමය) - වි:2:10.50, 3. සතරෝවා ගුල්ෂානොව් (කසකස්ථානය) _ වි:2:11.22
තෙවැනි මූලික තරගය _
1. එල්බරාව් මනාල් (බහරේන්) _ වි:2:05.23, 2. කිතමුරා යූමේ (ජපානය) _ වි:2:05.31, 3. ගයන්තිකා අබේරත්න (ශ්‍රී ලංකාව) _ වි:2:06.31
මීටර් 800 පිරිමි _ පළමු මූලික තරගය පළමු මූලික තරගය 1. ජොන්සන් ජින්සන් (ඉන්දියාව) _ වි:1:47.39, 2. හයිරානා ජමාල් (කටාර්) _ වි:1:47.45, 3. ඉඳුනිල් හේරත් (ශ්‍රී ලංකාව) _ වි:1:47.54, 4. කවමොටෝ ෂෝ (ජපානය) _ වි:1:48.07.

අද පැවැත්වෙන තරග
(ශ්‍රී ලංකාවට වැදගත් වන)
පෙරවරු 8.15 _ මීටර් 200 (කාන්තා) මූලික වටය _ රුමේෂිකා රත්නායක
පස්වරු 1.30ට _ රිද්මයානුකූල ජිම්නාස්ටික් (කාන්තා) අවසන් තරගය-ඇනා මේරි
පස්වරු 2.30 - හොකී (පිරිමි) - ශ්‍රී ලංකාව හා ඉන්දියාව
පස්වරු 5.20 _ මීටර් 200 (කාන්තා) අවසන් පූර්ව වටය
පස්වරු 6.00 _ මීටර් 800 (කාන්තා) අවසන් තරගය-ගයන්තිකා අබේරත්න
පස්වරු 6.10 _ මීටර් 800 (පිරිමි) අවසන් තරගය-ඉඳුනිල් හේරත්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon