පාකිස්තාන රජයේ නිලධාරීන්ට පළමු පන්තියේ ගුවන් ගමන් තහනම් වෙයි

  👤  544 readers have read this article !
Published by : MB WEB 2018-08-28 12:39:07

පාකිස්තානය එරට දේශපාලකයන්, විනිශ්චයකාරවරුන් හා හමුදා නිලධාරීන් ඇතුළු බලවත් පුද්ගලයන්ට ගුවන් තොටුපොළවලදී විශේෂ සැලකිලි දැක්වීමේ වී.අයි.පී. (ඍ.ධ්.ර්ථී.) සංස්කෘතිය තහනම් කළ බවත් පාකිස්තාන නව රජයේ අර පිරිමැසුම්කාරී සැලැස්මේ කොටසක් වශයෙන් එම පියවර ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තාවලින් ඊයේ ප්‍රකාශ විය. කිසිදු වෙනස්කමක් නැතිව සියලුම සංචාරකයන්ට එක සමාන අවස්ථා සලසාදීමේ අරමුණ ඇතිව නව රජය ගත් මෙම තීරණය තරයේම ක්‍රියාත්මක කරන බව තොරතුරු පිළිබඳව ඇමැති ෆවාඩ් චෞද්‍රි ප්‍රකාශ කළ බවත් මාධ්‍ය වාර්තාවලින් කියැවිණි.


පාකිස්තානයේ නව අගමැති ඉම්රාන් ඛාන් ධුරයට පත්වීමෙන් දින කිහිපයකට පසු ගන්නා ලද මෙම තීරණය බලාත්මක වීමත් සමඟම පළමු වැනි පන්තියේ සංචාර සඳහා රජයේ මුදල් තම හිතුමතයට වියදම් කිරීමට රාජ්‍ය නිලධාරීන්ටත්, ජනාධිපති, අගමැති ඇතුළු නායකයන්ටත් තිබුණු අවසරය තහනම් විය. ඒ අනුව රාජ්‍ය නිලධාරියකුට හෝ වෙනත් කිසිදු බලවත් පුද්ගලයකුට ගුවන් තොටුපොළවලදී විශේෂ පහසුකම් සලසා නොදෙන ලෙස අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා රජයේ අධීක්‍ෂණ ආයතනයකට නියෝග කර ඇත. මෙතෙක් විශේෂ පුද්ගලයන්ට ගුවන් තොටුපොළවලදී අදාළ විශේෂ පහසුකම් සලසා දුන්නේ එම ආයතනයයි.


පසුගිය රජය ද එවැනි තීරණ ගත් නමුත් ඒවා අකුරටම ක්‍රියාත්මක කිරීමට එම රජයට හැකි නොවූ බවද මාධ්‍ය වාර්තාවලින් අනාවරණය විය. නව රජය ගත් මෙම තීරණයෙන් පසු කිසියම් පුද්ගලයකුට කිසිදු ගුවන් තොටුපොළකදී විශේෂ වරප්‍රසාද සලසා දුනහොත් රාජ්‍ය අධීක්‍ෂණ ආයතනයේ නිලධාරීන්ට එරෙහිව දැඩි නෛතික පියවර ගන්නා බවද අභ්‍යන්තර කටයුකු පිළිබඳ ඇමැතිවරයා එම ආයතනයට ලිඛිතව දන්වා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon