'මව්බිම' 'සිලෝන් ටුඩේ' හත්වැනි සංවත්සරයට පිදෙන තිළිණ නිවසට ඉමදුවේදී මුල් ගල තැබේ

  👤  1762 readers have read this article !
Published by : MB WEB 2018-08-29 09:11:49

'මව්බිම' පුවත්පතේ හත්වන සංවත්සරය වෙනුවෙන් හිසට සෙවණක් අහිමි දරු පවුලක් සඳහා නිවෙසක් ලබා දීමේ වැඩසටහන යටතේ එම නිවෙස ඉදිකිරීම ඊයේ (28දා) යෙදී තිබූ සුබ මොහොතින් ඉමදුව වල්පලදී ආරම්භ විය.


'මව්බිම' පුවත්පතේ හත්වන සංවත්සරය යෙදෙන නොවැම්බර් මස 18 දිනට මෙම නිවෙස අයිතිකරුවන්ට භාර දීමට නියමිතව ඇත.


'මව්බිම' පුවත්පතේ හත්වන සංවත්සරය වෙනුවෙන් දිනුම් ඇදීමක් මඟින් තෝරා පත්කර ගත් අදාළ ජයග්‍රාහකයා ඉමදුව වල්පල වවුල්කැටකන්ද ප්‍රදේශයේ පදිංචි කේ.ජී. නන්ද මහතාය. වසර ගණනාවක් පුරා තමාගේම නිවෙසක් නොමැතිව සිටි කේ.ජී. නන්ද මහතාගේ පවුලේ දරුවන් 06 දෙනකු සිටින අතර එක් දරුවකු ආබාධිතය. තවමත් පාසල් යන වයසේ දරුවන් හතරදෙනකු සිටින මේ පවුල මෙවන් නිවෙසක් ලැබිය යුතු පවුලක් බවට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාද සනාථ කරන ලද්දකි.


මේ වන විට ඉතා කුඩා පැලක ජීවත් වන මෙම පවුල සඳහා සිලෝන් නිවුස්පේපර්ස් පුද්ගලික සමාගම හා දුලාන් හෙට්ටිආරච්චි පදනම එක්ව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ මෙම නිවෙස ඉදිකිරීම සිදු වෙයි. දුලාන් ආසිරි හෙට්ටිආරච්චි පදනම හා එක්ව මෙයට මූල්‍ය අනුග්‍රහය ලබා දීමට එංගලන්තයේ රැකියාවේ නියුතු සුදේශි ජයවික්‍රම මහත්මිය කටයුතු කළ අතර එම මැතිනියගේ පවුලේ අයද මේ සඳහා සහභාගි වූහ.


මේ අවස්ථාව වෙනුවෙන් චාම් උත්සව සභාවක් දුලාන් හෙට්ටිආරච්චි පදනම හා ගම්වාසීන් විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා වැඩමකර වදාළ නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් සිය අනුශාසනාව පවත්වමින් මෙසේ පැවැසූහ.


'රටේ පන්සල්, පල්ලි, කෝවිල්වලට ගොඩනැඟිලි පුරවනවාට වඩා සැබැවින්ම පුණ්‍ය කටයුත්තක් වෙන්නේ මෙවැනි දේවල් තමයි. අපි සියලු දෙනාම ස්වභාවධර්මයේ නිර්මාණ. ඒ ස්වභාවධර්මයේ නිර්මාණ වන අපි ස්වභාවධර්මය විසින්ම නැති කරලා දානවා. ඇති වෙනවා නැති වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. අපි මේ ඉන්නකම් තමයි සමාජයේ අභිමානය රැගන්න මේ සියලු දේවල් කරන්නේ. අපි සියලු දෙනාට මුදල් අවශ්‍යයි. මුදල් නැතිව කිසි අයකුට පවතින්න බෑ. මේ රටේ ආණ්ඩුවල සිටින ඉහළම නායකයාගේ සිට පහළම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි දක්වා මේ රටට ආදරය කරන අය නෑ. ඒක තමයි ඇත්ත. තමන්ගේ බඩ වඩා ගන්න, තමන්ගේ ඉදිරි ගමන සඳහා තමයි මේ අය සියලු දේ කරන්නේ.


අපි ඉපදෙන කොට ගෙනාපු පව් පිං කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ අනුව තමයි අද අපි මේ ජීවත් වෙන්නේ. ඒ පවෙන් ගොඩගන්න අපි මේ මොනවා කළත් බෑ. කවුරු හරි හිතනවා නම් මේ ගේ හදලා මේ මිනිස්සු වුණත් සමාජ තලයට ගේන්න පුළුවන් කියලා ඒක එහෙම නොවෙන්නත් පුළුවන්.'මව්බිම' පුවත්පත් කියන්නේ ආරම්භයේ සිටම නාමල් උයන සංරක්ෂණයට උදවු කළ පුවත්පතක්. මේ රටේ මාධ්‍ය බර ගාණක් තියෙනවා. ඒ අතරින් 'මව්බිම' පුවත්පත ඉහළ තැනක ඉන්නවා. 'මව්බිම' පුවත් පතේ පිටු සැකැස්ම, ප්‍රවෘත්ති පළකිරීම ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම මේ රටේ ජාතික සම්පත් විනාශයේදී ඔබ ප්‍රමුඛතාව මාධ්‍ය ආයතනයක් විදියට ගන්න කියලා මම කියනවා. අද බොහෝ දේ බලයට යටවෙලා තියෙන්නේ. මේ රටේ මාධ්‍ය ඔක්කොම බයයි ආණ්ඩුවලට. සල්ලිවලට යටවෙලා ඉන්නේ. එහෙම මාධ්‍යවේදීනුත් ඉන්නවා.


එහෙම ගිහින් ලියන්නේ ඒ ඇමැතිගේ අගමැතිගේ තෙචවල් විතරයි. පෑනට තාම ඕනම දෙයක් මේ රටේ කරන්න පුළුවන්. මම ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ තව මේ පුවත්පත තුළින් ජනතාවගේ හදවත් බැඳ තබන්න කියලා මම විශ්වාස කරනවා. 'මව්බිම' කියන්නේ බොහෝම කෙටි කාලයකදී ජනප්‍රිය වෙච්ච පුවත්පතක්.


'මව්බිම' කියන්නේ සමබරව කාටවත් යටත් නොවී වැඩ කරන පුවත්පතක්


- වනවාසී රහුල
තමන් ඉපදුණු ජාතියේ අනන්‍යතාවන් රැකගෙන මාධ්‍ය තුළින් වැඩ කටයුතු කළ යුතුයි. එහෙම නැතිව මුදලට සියල්ල පාවා දෙන තත්ත්වයට අපි නොවැටිය යුතුයි. නමුත් අද බොහෝ දෙනෙක් මුදලට තමන්ගේ බිරිය වුවත් පාවා දෙන තත්ත්වයේ පිරිස් ඉන්නේ. මේ ගැන ඔබ පුවත්පතේ කතා කරන්න. අද අපේ රටේ තරුණ පරපුර මොකක්ද මේ කරන්නේ. ඒ ගැන රටට කියන්න. මම 'මව්බිම' පුවත්පතෙන් ඉල්ලීමක් කරනවා 'මව්බිම' 8 වැනි සංවත්සරය වන විට නාමල් උයන ආශි්‍රතව පුද්ගලයකුට නිවෙසක් සාදා දෙන ලෙස.


මෙහිදී අදහස් දැක්වූ දුලාන් හෙට්ටිආරච්චි මහතා, සමාජ ජාලා වෙබ් අඩවි හොඳ විදියට යොදා ගැනීමේ එක් ප්‍රතිඵලයක් ලෙස අද අපිට මේ නිවෙස සාදා ගැනීම සඳහා පිටරටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් පවා උදවු ලැබී තිබෙනවා. ඒ වගේම මම පෞද්ගලිකව සම්බන්ධ වී කරන 20 වැනි නිවාසය මේක. විශේෂයෙන්ම 'මව්බිම' පුවත්පත සිය හත්වන සංවත්සරය වෙනුවෙන් තමන්ගේ පාඨකයන් වෙනුවෙන් මේ කරන කටයුත්ත විශේෂයෙන් අගය කළ යුතුයි. අද හිසට සෙවණක් ලබාදෙන එක කියන්නේ වටිනා දෙයක්. මේ රටේ දේශපාලනඥයන් නිවැරදිව මේ කටයුත්ත කළා නම් අද මේ මාධ්‍ය ආයතනවලට මෙවැනි කටයුතු කිරීමේ අවශ්‍යතාවක් වෙන්නේ නෑ. නමුත් වසර ගණනක් සිටි පාලකයන් ඒ ගැන තැකීමක් නොකළ නිසා මේ සමාජ වගකීම අද ඉතිරි වෙලා තිබෙනවා.


මෙහිදී අදහස් දැක්වූ 'මව්බිම' පුවත්පතේ අලෙවි අධ්‍යක්ෂ මානෙල් ධර්ම කීර්ති මහතා,


ඇත්තටම මේ සංකල්පය වෙනුවෙන් අපි අපේ පුවත්පතේ දැන්වීමක් දැම්මා. විශාල අයැදුම්පත් ප්‍රමාණයක් ඒ සඳහා ඇවිත් තිබුණා. අපි ඒ සඳහා නිර්ණායකයන් කිහිපයක් ඉදිරිපත් කළා. ඒ ආපු අයැදුම්පත් ප්‍රමාණයෙන් අපිට හිතාගන්න පුළුවන් වුණා කොච්චර දරිද්‍රතාවක් තියේද කියලා. ඒ වගේම අපි සතුටු වෙනවා මෙවන් ජීවන තත්ත්වයක් තියෙන කෙනෙක් වුණත් අපේ පුවත්පත මිලදී ගැනීම සම්බන්ධයෙන්. මොකද රුපියල් 80ක් වැනි මුදලක් වියදම් කර එහෙම පවුත්පතක් මිලදී ගන්නේ ඒ පුවත්පතට ඇති ආසාව නිසා. පුවත්පතට ඇති ආදරය නිසා. ඇත්තටම අද 'මව්බිම' පවුල ලෙස අපි අද සතුටු වෙනවා මේ නිවැරැදිම පුද්ගලයාට මේ නිවෙස ලැබීම සම්බන්ධයෙන්.


නිවෙසේ හිමිකරු වූ ඉමදුව වල්පල වවුල්කැටකන්ද ප්‍රදේශයේ පදිංචි කේ.ජී. නන්දන මහතා සිය සතුට මෙසේ වචනවලට පෙරළුවේ සතුටු කඳුළු වැගිරෙමින් තිබියදීය,
මම හැමදාම 'මව්බිම' බලන කෙනෙක්. මට සල්ලි නැත්නම් පත්තර ලෑල්ලෙන් හරි බලනවා. එහෙම වෙලාවක මේක දැකලා තමයි මේකට ඉල්ලුම් කළේ. මට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. අවු 6, 9, 11, 18, 22 හා 24 වයස්වල ඒ අය ඉන්නේ. එක්කෙනෙක් නම් බැඳලා. අවුරුදු 22 වන දුව ආබාධිතයි. මම කුලී වැඩ කරලා තමයි මගේ පවුල ජීවත් කෙරෙව්වේ. අපි ඉන්නේ මේ යන්තම් අටව ගත්ත පැලේ.


අනේ බලන්න අද මේ පොඩි එවුන් උඩ පනිනවා. මේ උදවු කරපු අයට බුදු බව අත්වෙන්න ඕන.


සැබැවින්ම නන්දන මහතාගේ දරුවන් අද වෙනදාට නැති උද්යෝගයකින් උඩපනින්නේ මේ පැමිණි පිරිස පිළිගැනීමට මෙනි. නන්දන මහතාගේ බිරිය මාලතී මහත්මියටද අද බොහෝ වෙහෙසය. ඒ කාලයකට පසු තමාගේ නිවසට ප්‍රදේශයේ ඉහළම රාජ්‍ය නිලධාරීන් මෙන්ම කොළඹ රටෙන් මහත්වරුන් බොහෝ පිරිසක් පැමිණ සිටි නිසාය.


මෙම අවස්ථාව සඳහා සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ රමන්ත අලස්, අලෙවි අධ්‍යක්ෂ මානෙල් ධර්ම කීර්ති, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරුන් වන සිසිර පරණතන්ත්‍රි, අර්ජුන රනවන, සාමාන්‍යාධිකාරි රොහාන් ෆොන්සේකා, වෛද්‍ය හර්ෂ ගමගේ, දුලාන් හෙට්ටිආරච්චි යන මහත්වරුන් එක්විය.
ඉමදුව - ටී. විතානවසම්
ජයාරූප - සස්සද ලියනාරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon