‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ මොනරාගලින් අද ඇරැඹේ

  👤  1238 readers have read this article !
Published by : MB WEB 2018-08-29 14:06:35

සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය තේමාව වුණු "ව්‍යවසායකයන් දිරිගන්වන 2025 පොහොසක් රටක්" දැක්ම සහිත "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් අද (29) මොනරාගලදී ඇරැඹීමට නියමිතය.

එහි පළමු ප්‍රදර්ශනය මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අබියස භූමියේදී ආරම්භ කෙරේ. සෑම දිනකම පෙ.ව. 10 සිට රාත්‍රි 12 දක්වා එම ප්‍රදර්ශන භූමිය මහජනතාව සඳහා විවෘතව තබයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ධීවර හා ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා, උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (29දා) පෙ.ව. 10ට එම ප්‍රදර්ශනය විවෘත කිරීමට නියමිතය.

එහි ප්‍රථම නිල සමාරම්භක උත්සවය ප.ව. 4ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදු කිරීමටද නියමිතය.
එමෙන්ම මෙහි දෙවැනි දින එනම් හෙට (30දා) ප.ව. 4ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් නිල උත්සවය ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.

දින 3ක් තිස්සේ පැවැත්වෙන "එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා" ප්‍රදර්ශනයේ සමාප්තිය 31දා සිදුවෙයි. එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීමට නියමිතය.

මොනරාගල පැවැත්වෙන "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහනෙහි පළමු ප්‍රදර්ශනය ප්‍රදර්ශන කලාප 12කින් සමන්විත වෙයි. එහිදී ප්‍රදර්ශන කුටි 515ක් සහ පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශන අංග 204ක්ද සකස් කර තිබේ.

ව්‍යවසායකත්ව කලාපය තුළදී ව්‍යවසායකයන්ට ලබා දෙන "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" ණය යෝජනා ක්‍රම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවා ඇත. එමෙන්ම නව ව්‍යවසායකයන්ට "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමට අවස්ථාවද සැලසෙයි.

ප්‍රදර්ශනය තුළදීම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකිය. නව ව්‍යාපාර ආරම්භ කිරීමට තාක්ෂණික දැනුම ලබාදෙන උපදේශන සේවා සැපයීමද ව්‍යාපාර ලියාපදිංචියද එහිදී සිදු කෙරේ.

කෙටිකාලීන සහතික පත් පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හා ප්‍රදර්ශනය තුළදීම සහතික පත් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරේ. පලතුරු කිරි සහ එළවළු ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ පුහුණුවට අදාළ එම සහතික පත්‍ර පාඨමාලා පැවැත්වෙයි.

අපනයන මුල් කරගත් ව්‍යාපාර ඇරැඹීමටද නව දේශීය සහ විදේශීය වෙළෙඳපොළවල්හි ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් නව ව්‍යවසායකයන්ට නව වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමේ අවස්ථාද එහිදී සලසා දෙනු ලැබේ.

සියලුම රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික අංශයේ ආයතනවල සේවාවන්ද එහිදී ලබා ගැනීමට තවත් කලාපයක් විවෘතව පවතී. සෞඛ්‍ය සායනවලදී වකුගඩු පරීක්ෂාව, බෝ නොවන රෝග පරීක්ෂාව, දන්ත වෛද්‍ය පරීක්ෂාව ඇතුළු පහසුකම්ද සපයා ගත හැකිය.

රැකියා සොයන අය වෙනුවෙන් 'රැකියා වෙළෙඳ පොළක්ද' ඒ අතර වෙයි. ඉඩම් ඔප්පු පිළිබඳ ගැටලු නිරාකරණය, හැඳුනුම්පත් සේවය ඇතුළු රාජ්‍ය සේවා විශාල ප්‍රමාණයක්ද ඒ අතර වෙයි. කෘෂිකර්මය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය භාණ්ඩ හඳුන්වාදීම සහ කාන්තාවන්ට නව රැකියා අවස්ථාවන්ද එහිදී සලසා දෙනු ලැබේ. ත්‍රිවිධ හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාපයක්ද මෙහි වෙයි.

අධ්‍යාපන කලාපය තුළ රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාද සපයනු ලබයි. එමෙන්ම වෘත්තීය පුහුණු පාඨමාලා සහ වෘත්තීය අධ්‍යාපන අවස්ථාද සපයනු ලැබේ. කාන්තාවන්ට, පාසල් සිසු සිසුවියන්ට සහ තරුණ ව්‍යවසායකයන් සඳහා වැඩමුළුද එහිදී සංවිධාන කොට තිබේ. පාසල් සිසුන් අතර ව්‍යවසායකත්ව අභියෝග පිළිබඳ විවාද මාලාවක්ද එම කලාපය තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නීලහරිත කලාපය තුළ විදුලි බලයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ සහ විවිධ වාහන, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උපකරණ, සමුද්‍ර සහ වෙරළ ආරක්ෂණ ආර්ථිකමය ව්‍යාපාර පිළිබඳ ප්‍රදර්ශනයක් පැවැත්වේ.

නව නිපැයුම් කලාපය තුළ විද්‍යා තාක්ෂණික නව නිපැයුම්, තොරතුරු තාක්ෂණික නව නිපැයුම් සහ නව නිපැයුම් වෙළෙඳපොළට ගැළපෙන ලෙස පරිවර්තනය කරන වැඩසටහන් ආදිය පිළිබඳ ප්‍රදර්ශන හා වැඩමුළු පැවැත්වෙයි.

සංහිඳියා කලාපයක්ද මෙහි වේ. 'අහන්න' ගීතය සමඟ සංහිඳියාව පිළිබඳ කතිකාවක් එහිදී පැවැත්වේ.

ක්‍රීඩා සහ පෞරුෂ වර්ධන කලාපයක්ද මෙහි වෙයි. පාසල් සහ ක්‍රීඩා සමාජ අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අත්පන්දු තරගාවලියක්ද පැවැත්වීම කටයුතු සම්පාදනය කර තිබේ. වෙළෙඳ කලාපය මේ ප්‍රදර්ශනයේ සුවිශේෂී අංගයකි. අපනයන මට්ටමේ නිමි ඇඳුම් සහ සියලුම භාණ්ඩ ඇතුළත් වෙළෙඳ කලාපය සහ විවිධාකාර ආහාරපානද එහිදී මිලදී ගත හැකිය.
මාධ්‍ය සහ ප්‍රකාශන කලාපයක්ද මෙහි වෙයි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල සජීවී විකාශන වෙබ් මාධ්‍යවේදීන්ගේ විශේෂ ප්‍රදර්ශන කුටි සහ දේශනමාලා ඇතුළු මාධ්‍ය ක්‍රියාකාරකම් රැසක අත්දැකීම් ලැබීමට එහිදී ජනතාවට පහසුකම් සපයා තිබේ.

ජනාධිපති කාර්ය සාධක බළකා කලාපයක්ද එහි වෙයි. වකුගඩු රෝග නිවාරණය පිළිබඳ දැනුවත් කිරීම එහිදී විශේෂයෙන් සිදු කරනු ලබයි.
එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය සහ කාබනික පොහොර පිළිබඳවද එහිදී ජනතාව දැනුවත් කෙරේ.

විනෝද ක්‍රීඩා සහ දිනපතා සංගීත සන්දර්ශන පැවැත්වෙන කලාපයක්ද මෙහි වෙයි. මෙරිගෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා ඇතුළු විනෝදාත්මක ක්‍රීඩා අංගවලටද එහිදී එක්විය හැකිය. දඹදිව වන්දනා කිරීම සඳහා ගුවන් ටිකට්පත් ලබාදීමට දිනපතා දිනුම් ඇදීමක්ද එම කලාපය තුළ සිදු කෙරෙයි. ඇතුළත්වීමේ රුපියල් 20ක ප්‍රවේශ පතට ජාතික ලොතරැයි මණ්ඩලය සමඟ මිලියන ගණන් වටිනා ත්‍යාග හිමි කෙරෙන අතර සංගීත කණ්ඩායම් 5ක්, ජනප්‍රිය ගායක ගායිකාවන් 20කට අධික පිරිස සහභාගි වන සංගීත සන්දර්ශනද එහිදී පැවැත්වෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon