ලංකාවේ ධජය අදවත් ඉහළට එසැවෙයිද?

  👤  1502 readers have read this article !
Published by : MB WEB 2018-08-30 10:40:01

විචිත්‍ර වීරසිංහ _ ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට..

ඉන්දුනීසියාවේ ජාකර්තා හා පලෙම්බාන්ග් නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව වන මීටර් 4×400 පිරිමි සහාය දිවීමේ තරගයේදී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

ජාකර්තා නුවර ගලෝරා බුන් කර්නෝ පිටියේදී ඊයේ (29දා) අවසන් වූ මෙම මූලික වටයේ තරගයේදී වි.3:06.66 කාලයක් සටහන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (30දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.10ට පැවැත්වෙන අවසන් තරගය සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇත්තේ හොඳම කාලය සටහන් කළ කණ්ඩායම් අතර 5 වැනි ස්ථානයද හිමි කර ගනිමිනි.

ඒ අනුව මංතීරු අංක 7න් තරග වැදුණු මීටර් 400 සහාය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු ලක්ෂාන් කොඩිකාර හා අජිත් ප්‍රේමකුමාර යන ක්‍රීඩකයන් ඇතුළත් වූ අතර, ඒ අනුව දෙවැනි මූලික තරගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවැනි ස්ථානය හිමි විය.

මේ අතර ඊයේ පැවැති මීටර් 200 කාන්තා අවසන් තරගයේදී තත්. 22.96ක කාලයක් සටහන් කළ ඔඩියොන් එඩිඩොන් රන් පදක්කම දිනාගනිද්දී මීටර් 200 පිරිමි අවසන් තරගයේදී තත්. 20.23ක කාලයක් සටහන් කර රන් පදක්කම දිනාගැනීමට ජපානයේ කොයිකේ යූකි සමත් විය.

කෙසේ වෙතත් ඊයේ පැවැති මිශ්‍ර යුගල මේසපන්දු අවසන් 32 දෙනාගේ වටයට සහභාගි වූ උදය රණසිංහ හා ඉෂාරා මධුරංගි තායිලන්තය හමුවේ තරග වට 3-0කින් පරාජය ලබාගත් අතර, ඔවුන් සහභාගි වන කේවල තරග අද පැවැත්වීමට නියමිතව තිබේ.

තවද සත් සාමාජික රග්බි තරගාවලිය අද (30දා) ඇරැඹෙන අතර, ශ්‍රී ලංකාව ඔවුන්ගේ මූලික වටයේ තරග සඳහා අද (30දා) සහභාගිවීමට නියමිතව ඇත.

11 වැනි දිනය වන ඊයේ (29දා) වනවිටත් චීනය රන් පදක්කම් 100ක්, රිදී පදක්කම් 65ක් හා ලෝකඩ පදක්කම් 49ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගෙන ඇති අතර, රන් පදක්කම් 51ක්, රිදී පදක්කම් 47ක් හා ලෝකඩ පදක්කම් 62ක්ද, රන් 37ක්, රිදී 41ක් හා ලෝකඩ පදක්කම් 50ක් දිනා ඇති ජපානය හා දකුණු කොරියාව පිළිවෙළින් දෙවැනි හා තෙවැනි තැනට පත්ව සිටී.

තරග ප්‍රතිඵල

මීටර් 400×4 (පිරිමි)
පළමු මූලික තරගය _ 1.ජපානය- වි.3:06.11, 2. ඉන්දියාව-වි.3.06.47, 3. ඉරාකය-වි.3.06.92, 4. චීනය-වි.3:06.98, 5. පාකිස්තානය-වි.3:08.20
දෙවැනි මූලික තරගය _ 1. කටාරය- වි.3:06.08, 2.බහරේනය- වි.3:06.29, 3. ශ්‍රී ලංකාව- වි.3:06.66, 4. තායිලන්තය- වි.3:08.50 5. චීන තායිපේ- වි.3:08.76,

ශ්‍රී ලංකාව අද සහභාගි වන තරග (ශ්‍රී ලංකා වේලාවෙන්)

පෙරවරු 7.30 _ ජූඩෝ (පිරිමි) කි.ග්‍රෑ. 73 බර පන්තිය යටතේ චාමර නුවන් ධර්මවර්ධන හා කි.ග්‍රෑ. 81 බර පන්තිය යටතේ රජිත පුෂ්පකුමාර
පෙරවරු 8.30 - මේසපන්දු (පිරිමි) උදය රණසිංහ ලාඕසය සමඟින්
පෙරවරු 9.15 - මේසපන්දු (කාන්තා) ඉෂාරා මධුරංගි පාකිස්තානය සමඟින්
පස්වරු 1.30 - හොකී (පිරිමි) ස්ථානයක් (7-8) සොයා ගැනීමේ තරග ඕමානය සමඟින්
පස්වරු 3.00 - වොලිබෝල් (පිරිමි) ස්ථානයක් (13ත් 16ත් අතර) සොයා ගැනීමේ තරග - නේපාලය සමඟින්
රාත්‍රි 7.10 _ මීටර් 400×4 (පිරිමි) අවසන් තරගය

ඡායාරූප _ අංජන කලුආරච්චි

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon