ගයන්තිකා හා ඉඳුනිල් පරාජයට හේතු කියති

  👤  1567 readers have read this article !
Published by : MB WEB 2018-08-30 10:43:49

18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී පෙරේදා (28දා) රාත්‍රියේදී පැවැති මීටර් 800 කාන්තා අවසන් තරගයේදී ගයන්තිකා අබේරත්නට 6 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවූ අතර මේ සම්බන්ධයෙන් "මව්බිම"ට අදහස් දැක්වූ ගයන්තිකා පැවැසුවේ සිදුවූ වැරැදි නිවැරැදි කරගනිමින් 2020 ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යෑමට සැලසුම් කරගෙන ඇති බවය.

"මගේ කාලයට යන්න බැරි වුණ එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. මගේ උපරිම කාලය වාර්තා කළා නම් මට පදක්කමකට යන්න තිබුණා. ඒත් ආසියානු ක්‍රීඩා උළෙලක අවසන් තරගයට සුදුසුකම් ලබලා 6 වැනි ස්ථානය දිනාගත් නිසා පොඩි සතුටක් හිතේ තියෙනවා. කොහොම වුණත් තරගයට දින කිහිපයකට පෙර සිටම මට සෙම ආබාධයක් තිබුණා. තරගයේ ටික දුරක් දුවනකොට මට ඒක හොඳටම තේරුණා. ඒත් පටන් ගත්ත එක කොහොම හරි අවසන් කරන්න ඕන කියන අධිෂ්ඨානය තිබුණ නිසා තරගයේ ඉදිරියටම ගියා. සෙම ආබාධය නිසයි මගේ හොඳම කාලයටවත් මට යාගන්න බැරිවුණේ" යැයි පැවැසූ ගයන්තිකා ඉදිරි අරමුණු සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"ඉදිරියේදී දකුණු ආසියානු හා ආසියානු තරගාවලියත් තියෙන නිසා ඒවා හොඳින් කරන්න වගේම ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යන්නත් සැලසුම් සකස් කරගෙන යනවා. ඒක පුළුවන් වේවි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා" යැයිද ගයන්තිකා සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ ජාකර්තා හා පලෙම්බාන්ග් නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කමක් දිනාගනීවි යැයි විශ්වාසය තබා තිබූ ඉඳුනිල් හේරත්ටද අවසානයේදී හිමි වූයේ අවසන් ස්ථානයයි.

මෙම පසුබෑම සම්බන්ධයෙන් ඉඳුනිල් හේරත් "මව්බිම"ට සඳහන් කළේ මෙම පරාජය තමන්ටත් අදහාගත නොහැකි බවය.

"ලංකාව කොහොම හරි පදක්කමකින් සරසනවා කියන ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි තරගයට ආවේ. ඒත් මට හිතාගන්න බැරි මට මොකද වුණේ කියලා. මගේ කාලයවත් මට වාර්තා කරගන්න බැරිවුණා" යැයි පැවැසූ හේරත් තරගය අතරතුරදී තමන්ට කිසියම් දෙයක් සිදුවූ බවද කීය.

"මුල් භාගයේදී මම තරගය හොඳින් පාලනය කරගෙනයි හිටියේ. පළමු මීටර් 400-500 වනවිටත් මම ඉස්සරහින් හිටියා. ඒත් ඉන් පස්සේ මගේ කකුලේ යම් හිරවීමක් ඇතිවුණා. ඒක එක්ක සටන් කරලා හයියෙන් දුවන්න උත්සාහ කළත් මට ඒක කරගන්න බැරි වුණා.
ඇත්තටම මට හිතාගන්න බැහැ මොකක්ද වුණේ කියලා. කොහොම වුණත් ලබන වසරේ කටාර්වල තියෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් මහා තරගය දක්වා එන්න මම බලාපොරාත්තු වෙනවා" යැයිද සඳහන් කළේය.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon