බර ඉසිලීමේ ක්‍රීඩාවට පහසුකම් නැතිලු

  👤  1441 readers have read this article !
Published by : MB WEB 2018-08-31 13:03:57

බොරලන්ද - සමන් නැදුන්ගමුව

නිසියාකාරව පුහුණුවීම් කටයුතු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැතිව වැලිමඩ හා උෟව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ බර ඉසිලීමේ ක්‍රීඩාවේ නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටී.

පළාත් මට්ටමේ හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙලෙස අපහසුතාවට පත්ව සිටී. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩා සමාජ නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෙනෙක් පමණ බර ඉසිලීමේ ක්‍රීඩාවේ නිරත වෙමින් මීට ප්‍රථම විවිධ තාවකාලික ස්ථානවල පුහුණුවීම් කටයුතුවල නිරත වුවද මේ වන තෙක් ඔවුන්ගේ පුහුණුවීම් නිසියාකාරව සිදු කරගෙන යෑමට ස්ථිර ස්ථානයක් නොලැබීම නිසා දක්‍ෂයන් රැසකගේ ඉදිරි ක්‍රීඩා කටයුතුවලට බාධක පැමිණ තිබේ.

තමන් පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අදහස් දැක්වූ බර ඉසිලීමේ ක්‍රීඩක තරිදු ඉමේෂ්: මේ ප්‍රදේශවලට බර ඉසිලීමේ ක්‍රීඩාව අලුත්. මේ මුලින්ම යොමු වූයේ ඉතා අඩු පිරිසක්. එනමුත් මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් මේ බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වෙමින් පවතිනවා. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළාත් මට්ටමේ හා ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමි කරගෙන තියෙනවා. නමුත් අපිට පුහුණුවීම් ලබන්න නිසි ස්ථානයක් නැහැ. බර ඉසිලීමේ ක්‍රීඩාව එළිමහනේ කරන්න බැහැ. අපි ගොඩක් අපහසුතාවට පත්වෙනවා. එළිමහනේ පුහුණුවීම් කරන්න ගියාම. අපි මේ ආකාරයෙන් ගැටලු රැසක් මැද පුහුණුවීම් කරලා තමයි මේ ජයග්‍රහණ අපේ පාසල්වලටත්, ක්‍රීඩා සමාජවලටත් ගෙනත් දීලා තියෙන්නේ. අපි කොතෙකුත් ඉල්ලීම් කළත් අපිට ස්ථිර පුහුණු මධ්‍යස්ථානයක් මේ වන තෙක් ලැබුණේ නැහැ.

බර ඉසිලීමේ ක්‍රීඩිකා ශෂි ප්‍රභාෂා: මෙපමණ දුෂ්කරතා මත තමයි අපි මේ පළාතට විශාල ජයග්‍රහණ රැසක් ගෙනැවිත් දුන්නේ. අපිට හොඳ පුහුණුවීම් මධ්‍යස්ථානයක් තිබුණා නම් මීට වඩා දක්‍ෂකම් පෙන්වලා ජයග්‍රහණ රැසක් අපිට ගෙනවිත් දෙන්න තිබුණා. එළිමහනේ පුහුණුවීම් කරන්න බැරි දෙයක් තමයි බර ඉසිලීමේ ක්‍රීඩාව. මේ වැලිමඩ, උෟව පරණගමට මාස ගණනක් තද සුළං පවතිනවා. බර ඔසවන්න බෑ අධික සුළං තත්ත්වය තියෙන කොට.

සුළං එන වෙලාවල්වල පුහුණුවීම් කරන්න ගිහින් අපි අනතුරුවලටත් ලක්වෙලා තියෙනවා. මේ අපිත් එක්ක පුහුණුවීම් ලබන්නේ ගොඩක් දුප්පත් මවුපියන්ගේ දරුවන්. අපිට මුදල් ගෙවලා ශරීර සුවතා මධ්‍යස්ථානවලට ගිහින් පුහුණුවීම් කරන්න හැකියාවක් නැහැ. බලධාරීන් අපේ මේ ගැටලුව ගැන සොයා බලා අපිට ගෘහස්ථ පුහුණුවීම් මධ්‍යස්ථානයක් ලබා දෙනවා නම් ඒක අපේ ක්‍රීඩා ජීවිතයට කරන ලොකු ආයෝජනයක් මෙන්ම ලොකු ශක්තියක්.

බර ඉසිලීමේ ක්‍රීඩිකා අනුෂ්කා මධුවන්ති: අපිට පුහුණුවීම්වලට ගොස් ඇඳුම් මාරු කරගන්නවත් තැනක් නැහැ. අපි එළිමහනේ තැන් තැන්වල තමයි පුහුණුවීම් කරන්නේ. අපි පාසල් ගොස් සවස් වරුවේ තමයි පුහුණුවීම්වලට සහභාගි වන්නේ. අපිට පුහුණුවීම් කරන්න තියෙන්නේ ඉතා අඩු භාණ්ඩ හා උපකරණ ප්‍රමාණයක්. ඒවා තබා ගන්නවත් අපිට හරි ස්ථානයක් නැහැ. මේ බර ඉසිලීමේ ක්‍රීඩාව සඳහා යොමුවන්න විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් පහසුකම් නැති නිසා ඒ අයට මේ ක්‍රීඩාවට යොමු වෙන්න මැළිකමක් දක්වනවා. ඉදිරි මාස කිහිපයේදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තරග රැසක් සඳහා සහභාගි වෙන්න තියෙනවා. ඒවාට පුහුණුවීම් නිසියාකාරව කර ගන්න බැරිව ගොඩක් අපහසුතාවට පත්වෙලා ඉන්නේ.

අපේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විඳින අපහසුතාවන් ගැන සොයා බලා අපේ බර ඉසිලීමේ සංචිතයට පුහුණුවීම් නිසියාකාරව කරගෙන යෑමට ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානයක් ලබාදෙන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ ලබාදීමට හැකිනම් අපිට විශ්වාසයි අපිට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අපේ ලක්මවට ගෙනවිත් දෙන්න පුළුවන් කියලා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon