ලක්ෂ 900ක් වැය කර තැනූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කඩා ඉවත් කිරීමට යති

  👤  1427 readers have read this article !
Published by : MB WEB 2018-08-31 14:06:53

බුලත්සිංහල - ප්‍රභාන්

අගලවත්ත ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල දැඩි අවදානම් තත්ත්වයක පැවැතීම හේතුවෙන් කඩා ඉවත් කිරීමට ගොඩනැඟිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත. ඉදිකර වසර අටක් ගතව ඇති මෙම ගොඩනැඟිල්ල සඳහා රු. ලක්ෂ 900ක මුදලක් වැය වී ඇති අතර එම මුදල කොරියානු රජයේ ආධාර මත ලැබී තිබේ. හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ මැදිහත්වීම මත මේ සඳහා ආධාර ලැබී තිබේ.

මෙම ගොඩනැඟිල්ල කොරියානු ගෘහ නිර්මාණයට අනුව ඉදි කර ඇති අතර ඉදිකිරීම් ආරම්භයේදීද විශාල මුදලක් වැය කර එහි අත්තිවාරම දෙවරක් දැමීමට සිදු ඇත්තේ කොන්ත්‍රාත් සමාගම නිසි පරීක්ෂාවකින් කටයුතු ආරම්භ නොකළ හෙයින් බව නගරවාසීහු පවසති.

කොරියානු ශ්‍රී ලංකා තානාපතිවරයාගේ සහභාගිත්වයෙන් විවෘත වූ මෙම ගොඩනැඟිල්ල ඉන් අනතුරුව උත්සව කීපයකට පමණක් භාවිත කර ඇත. ඉතා කෙටි කාලයක් තුළ ගොඩනැඟිල්ලේ අත්තිවාරම ගිලා බැස බිත්ති පුපුරා යෑම නිසා ගොඩනැඟිල්ල අවදානම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කර තිබේ.

පසුකාලීනව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බඩු ගබඩාවක් ලෙස හා ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයේ කාර්යාලය ලෙස භාවිත කළ අතර මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා තත්ත්වයට පත්ව තිබේ.

විශාල මුදලක් අපතේ යවමින් ඉදිකළ ගොඩනැඟිල්ල හරහා විශාල මුදලක් මෙයට මූලික වූ පිරිස් විසින් කොමිස් ලෙස වෙන් කර ගෙන ඇති බවටද චෝදනා එල්ල වේ.
පසුගියදා මෙහි ඉදිරිපස කොන්ක්‍රීට් ආධාරක කැඩී බිම පතිත වූ අතර භාවිතයෙන් තොරවූ හෙයින් පුද්ගල අනතුරක් සිදු නොවූ බව නගරවාසීහු පවසති.

මෙම ආපදා කළමනාකරණ ගොඩනැඟිල්ල පිළිබඳව පසුගියදා අගලවත්ත ප්‍රාදේශීය සභා රැස්වීමේදී දැඩි කතා බහට ලක් වූ අතර එහිදී පක්ෂ විපක්ෂ බහුතරයකගේ අදහස වූයේ මෙම අපතේ ගිය විශාල මුදල ගසා කෑ පිරිස පිළිබඳව සොයා බලා ඔවුන්ට දඬුවම් කළ යුතු බවයි.

මෙම ගොඩනැඟිල්ලේ අවදානම් තත්ත්වය පරීක්ෂා කිරීම සදහා අගලවත්ත ප්‍රාදේශීය සභා සභාපති ජයසේන කඹුරාවල හා උප සභාපති රෝහණ ගලබඩ යන මහත්වරු කටයුතු කළ අතර මේ සඳහා කඩිනම් පියවරක් ගන්නා බව ඔවුහු පැවැසූහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon