බිම්ස්ටෙක් නව සභාපතිවරයා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පත් වෙයි

  👤  1409 readers have read this article !
Published by : MB WEB 2018-08-31 14:21:52

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) පස්වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමේ.

බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව ඊයේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ කෙරුණු අතර අද පැවති සමුළුවේ සමාප්ති අවස්ථාවේ දී එහි නව සභාපතිත්වය මෙලෙස ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනැමිණි.

ඒ අනුව බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි. වාණිජ, ආයෝජන, තාක්ෂණ, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්ම, ධීවර, ප‍්‍රවාහනය හා සන්නිවේදනය ඊට ඇතුළත්ය. අධ්‍යාපන වෘත්තීය හා තාක්ෂණික ක්ෂේත‍්‍ර සඳහා පුහුණු හා පර්යේෂණ පහසුකම් එකිනෙකට සැපයීම ද මෙහි අරමුණකි. ආර්ථික, සමාජ, තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත‍්‍ර සඳහා කි‍්‍රයාකාරී සහයෝගීතාවයක් සහ අනෝ‍යා්න්‍ය සහයෝගිතාව මෙමගින් සිදු කෙරේ.

බිම්ස්ටේක් සංවිධානය 1997 ජූනි මස තායිලන්තයේ බැංකොක් අගනුවර පැවති අමාත්‍ය මට්ටමේ සැසි වාරයකින් පසු ස්ථාපනය කෙරිණි.

නව සභාපති ධූරය භාර ගැනීමෙන් අනතුරුව විශේෂ ප‍්‍රකාශයක් සිදුකළ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ පැහැදිළි න්‍යාය පත‍්‍රයක් ඔස්සේ සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවයි.

එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු සාමාජික රටවල සහය අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා බිමිස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව ඉතා සාර්ථක ලෙස පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳවත්, නේපාලයට පැමිණි අවස්ථාවේ සිට දක්වන ලද උණුසුම් ආගන්තුක සත්කාර පිළිබඳවත් නේපාල රජය වෙත සිය ස්තූතියි පිරිනැමීය

බිමිස්ටෙක් සමුළුවේ නව සභාපති ධූරයට පත්වූ ජනාධිපතිතුමා වෙත මෙහිදී සියලු රාජ්‍ය නායකයින් සිය උණුසුම් සුබපැතුම් පිළිගන්වූ අතර අත්දැකීම් බහුල රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ බිමිස්ටෙක් සමුළුවේ කටයුතු ශක්තිමත්ව ඉදිරියට යනු ඇති බවට ද විශ්වාසය පළ කළහ.

නේපාල අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද දහවල් සමුළුවේ සමාප්ති අවස්ථාව සිදු විය.

බිම්ස්ටෙක් බලශක්ති පද්ධතිය පිළිබඳ කලාපයේ රටවල් අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට ඒ ඒ රටවල විදේශ අමාත්‍යවරුන් විසින් අත්සන් තැබීම ද එහිදී සිදු විය.

ඉන් අනතුරුව කත්මණ්ඩු ප‍්‍රකාශය එළිදැක්වීම සිදු කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon