ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා පිලට වසරකට පසුව මාලිංගත් එක්වෙයි

  👤  1254 readers have read this article !
Published by : MB WEB 2018-09-03 16:52:01

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙම මස 15 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පෙන්වා දුන්නේ ලසිත් මාලිංගට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව පවතින බවයි. වසරකට පසුව ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කළ ලසිත් මාලිංග ඊයේ (2දා) නිමාවට පත් වූ 'එස්.එල්.සී ඊ-20 ලීග්' අන්තර් පළාත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී තරග 6කට ක්‍රීඩා කරමින් (පන්දුවාරයකට ලකුණු 8.62ක දළ වේගයක් රඳවා ගනිමින්) ඔහුට දවා ගැනීමට හැකි වූයේ කඩුලු 3ක් පමණි.

තවද නිමා වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී විනය විරෝධී හැසිරීමක් නිසා තරගතහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක 'එස්.එල්.සී ඊ-20 ලීග්' අන්තර් පළාත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ලසිත් මාලිංගට සාපේක්ෂව ඉහළ දක්ෂතා දක්වා තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

මේ අතර නිමා වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී පෙන්වූ සාර්ථකත්වය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජිලෝ මැතිව්ස් හට හිමි වී ඇත. තවද දකුණු අප්‍රිකානු තරගාවලියේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් 'එස්.එල්.සී ඊ-20 ලීග්' තරගාවලයේදීද හොඳින් පන්දු යැවූ අකිල ධනංජය පිළිබඳව ශ්‍රී ලංකාව වැඩි බලාපොරොත්තු තබා තිබේ. එමෙන්ම මේ වන විට හොඳින් ක්‍රීඩා කරමින් ලකුණු අතර සිටින දිනේෂ්චන්දිමාල් ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර ඇති අතර ඔහු මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් කටයුතු කිරීමට ද වැඩි ඉඩක් පවතින බවද දැනගන්නට ඇත.

නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය _ ඇන්ජිලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, දිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්,දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග.

අතිරේක ක්‍රීඩකයින් - ශෙහාන් මධුසංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon