සතොස භාණ්ඩ නඩුව: ජොන්ස්ටන් රිමාන්ඩ්

  👤  1255 readers have read this article !
Published by : MB WEB 2018-09-03 17:14:26

පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.

පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇති අතර, අද(03) එම නඩුව කුරුණෑගල මහාධිකරණයේ කැඳවු අවස්ථාවේදී මෙතෙක් ඇප මත සිටි හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස විනිසුරු මේනකා විජේසුන්දර නියෝග කළාය.

මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට එහිදී තීරණය වී තිබේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වූ මොහොමඩ් ෂකීර් යන අය ද රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරතුර, වයඹ මැතිවරණ සමයේ කුරුණෑගල ලංකා සතොස ගබඩා තුනකින් රුපියල් ලක්ෂ 52 ක භාණ්ඩ ලබාගෙන, මුදල් අවභාවිත කළ බවට ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා එල්ලවී තිබේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අමාත්‍යවරයා, ලබාගත් භාණ්ඩවලට අවශ්‍ය මුදල් ගෙවීම කර ඇති බව ප්‍රකාශ කරයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට ඇප ලබාගැනීම සඳහා ඇප අයදුම්පතක් අද දිනයේ නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon