අවුරුදු හතළිහකින් තාර ටිකක් දමා නැති පාරක්

  👤  2531 readers have read this article !
Published by : MB WEB 2018-09-04 08:08:18

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

කුරුණෑගල, පුත්තලම් දිස්ත්‍රික් දෙක යා වන තුත්තිරිපිටිය සිට හැවන, වතුගහමුල්ල, වඳුරඹ දුම්මලසූරිය දක්වා දිවෙන රටමැද මාර්ගයේ කිලෝමීටර් 4ක දුරක් දැඩි ලෙස අබලන් වීමෙන් මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

ගම්වැසියන් පවසන්නේ මෙම මාර්ගය වසර 40කට ආසන්න කාලයක සිටම අබලන් තත්ත්වයේ පැවතියත් වගකිවයුතු කිසිවකුගේ අවධානය මෙම මාර්ගය කෙරෙහි යොමුව නොමැති බවයි. කෙසේ නමුදු මෙම මාර්ගය මේ වනවිට පයින්වත් ගමන් කිරීමට නොහැකි අන්දමට අබලන් වී ඇති අතර හැවන ශ්‍රී සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලයට හා පන්සලට පැමිණෙන මාර්ගයද මෙම මාර්ගය වෙයි.

මෙම අබලන් මාර්ගයේ වාහන ගමන් කිරීමට රියැදුරන් දක්වන අකැමැත්ත මත හදිසි මරණයක් සිදුවුවොත් මෘත ශරීරය රැගෙන වෙනත් ප්‍රදේශයන්හි ඥාති නිවෙස් කරා යෑමට සිදුව ඇති බවට ප්‍රදේශයේ ප්‍රසිද්ධ කතාවකි.

වසර ගණනක සිට මෙම අබලන් මාර්ගය නිසා පීඩා විඳිනා ගැමියන් තමන්ට විඳීමට සිදුව ඇති දුක් ගැහැට ගැන පවසා සිටියේ මෙසේය.

හැවන ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී නාගස්වැවේ විමලවංශ හිමි
"පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික් දෙකම යා වන රටමැද මාර්ගයයි මේ.

පවුල් 2,500ක් පමණ මේ මාර්ගය දෙපස ජීවත් වෙනවා. අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේ මාර්ගය හදලා දෙන්න කියලා දේශපාලන අධිකාරියට. නමුත් කිසිම ප්‍රතිචාරයක් අද මේ වනතුරු ලැබිලා නෑ. දිස්ත්‍රික්ක දෙකේම මැති ඇමැතිවරු බෝල පාස් කිරිල්ලක් විතරයි කරන්නේ.

අපි වගකිවයුත්තන්ට කියන්නේ මේ මාර්ගය අපිට ගමන් කිරීමට හැකි අයුරින් සකස් කරලා දෙන්න කියලායි. මේ පාරට අවුරුදු 40කින් තාර ටිකක් වැටිලා නෑ. පාරේ තියෙන වළවල්වලට බොරලු ටිකක් දාලාවත් දෙන්නේ නෑ.

අපි කියන්නේ අපිට අවහිරයකින් තොරව ගමන් කරන්න මේ පාර හදලා දෙන්න කියලායි. පසුගිය වැස්සට පාර දෙපැත්ත හේදිලා ගිහින් දණහිසක් උසට වළවල් හැදිලා. ඒවාට වැටුණොත් හන්දි බඳින්න වෙනවා වෙනමම.

අද වෙනතෙක් කාගේවත් මේ මාර්ගය කෙරෙහි අවධානය යොමු වෙලා නෑ. අපිට කාපට් ඕන නෑ. අපිට යන්න පුළුවන් මාර්ගයක් ලෙස සකස් කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.

අපිට දානෙකටවත් වෙලාවට යන්න බැරි තත්ත්වයක් දැන් මේ මාර්ගය නිසා උදාවෙලා තියෙන්නේ."

පී.ජී.ඒ. ධර්මදාස මහතාද අබලන් මාර්ගය පිළිබඳ අදහස් දැක්වූවේය.
අවුරුදු 40කින් මේ පාර හදලා නෑ. මේ වෙද්දී මේ පාරේ යන්න එන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.

අවුරුදු ගාණක ඉඳලා පාර හදලා දෙන්න කියලා ඉල්ලීම් කරනවා. තවම කාගේවත් ඇස් ඇරිලා නෑ. බලධාරීන්ට කොච්චර කිව්වත් මේ පාර හදලා දෙන්නේ නෑ. අහිංසක මිනිස්සු මේ පාරේ යන්නේ එන්නේ. බයිසිකල් නිතරම කැඩෙනවා.

අපි බලධාරීන්ට කියන්නේ අපිට මේ පාර හදාගන්න උදවු කරන්න කියලායි.

පුෂ්පා අයිරංගනී මහත්මිය,

මේ පාර දැන් තියෙන තත්ත්වය උඩ අපිට ලෙඩෙක්වත් හදිසියකට ගෙනියන්න බෑ මේ පාරේ. මම මේ ගමට ඇවිත් අවුරුදු 26ක් විතර වෙනවා. මේ පාර එදා ඉඳලම මෙහෙම අබලන් තත්ත්වයේ තමයි තිබුණේ. අපිට යන්න එන්න වෙන විකල්ප පාරවල් නෑ. අපේ එකම ඉල්ලීම මේ පාර අපිට යන්න පුළුවන් විදියට හදලා දෙන්න කියන එකයි.
රංජිත් මාරසිංහ මහතා

"මේ දුම්මලසූරිය සිට තුත්තිරිපිටිය දක්වා ඇති රටමැද පාර. අපි දන්න කාලෙක ඉඳලා මේ පාර හදලා නෑ. කිලෝමීටර් 2ක් විතර පාර හදලා තියෙනවා. ඉතුරු ටික හදනවා කියනවා.
හැමදාම හදනවා කියලා කියන්නේ හදන්නේ නෑ. මේ පාරේ වළක වැටිලා කාලෙකට කලින් කෙනෙක් මැරුණා. ළමයි මේ පාරෙන් ඉස්කෝලේ යන්නෙත් හරි අමාරුවෙන් වළවල්වල වැටෙනවා. හැමදාම පාර හදනවා කියනවා විතරයි පාර හැදිල්ලක් නෑ. දේශපාලන අධිකාරියෙන් කියනවා මේ පාරට සල්ලි පාස් වෙලා තියෙන්නේ කියලා. නමුත් තවම පාර හදන්න පටන් අරන් නෑ."

බන්දුල රත්නායක මහතා

අඩි 60ක් පළල හොඳ පාරක් මේ. කැලෑ පාරවල් ඔක්කෝම කාපට් කෙරුවා. මේ පාර කාපට් කරන්නේ නෑ. කිසිම දේශපාලකයෙක් උනන්දු නෑ මේ පාර හදන්න. මේ පාර කොළඹ ඉඳලා අනුරාධපුරය දක්වා විහිදෙන රට මැද තියෙන පාරක්.

මේ පාර හැදුනොත් ඇත්තටම මේ පැත්තේ තියෙන රැකිරක්ෂා ප්‍රශ්නත් විසඳෙනවා. විකල්ප මාර්ගයක් විදියට භාවිත කරන්න පුළුවන් හොඳ පාරක්.

මේ එහා පැත්තේ කොළඹ පුත්තලම් පාරේ විශාල වාහන තදබදයක් තියෙනවා. ඒ වෙනුවට මේ පාර යොදාගන්න පුළුවන්. පාර හොඳට හදලා දුන්නා නම්. වයඹ හිටපු මහඇමැති හිටියේ මේ එහා පැත්තේ. එතුමාවත් උනන්දු වුණේ නෑ මේ පාර හදලා දෙන්න."

ඩී.එම්. අනුලාවතී මහත්මිය

"අපි මේ පාර හදලා දෙන්න කියලා උද්ඝෝෂණයකුත් කළා. පත්තරවලත් දැම්මා. නමුත් මේ පාර හදන්න කිසිම කෙනෙක් කටයුතු කරන්නේ නෑ. ආණ්ඩු පක්ෂ, විපක්ෂ කාට කිව්වත් පාර හදන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. අපි කියන්නේ අපිට පයින්වත් යන්න පුළුවන් විදියට මේ පාර හදලා දෙන්න කියලයි.

මේ ළඟඳී මළගෙයක් වෙලා මිනිය වෙන ගමක ඥාති නිවෙසකට ගෙනිච්චා. මේ පාරේ යන්න එන්න කරදර හින්දා.

මේ පාරේ වාහන එන්නේ නෑ. මේ පාරේ පාසලක් තියෙනවා. ඒ ළමයින්ටවත් මේ පාරේ යන්න බෑ. ප්‍රේමදාස මහත්තයගේ කාලේ ඉඳලා සල්ලි පාස් කරන්න පොල් ගස් කපලා පාර හදන්න මැනලා දුන්නේ. ඒත් තවම පාර හැදුණේ නෑ. කුරුණෑගල, පුත්තලම් දිස්ත්‍රික් දෙකේම මන්ත්‍රිවරු මේ පාර ගැන බලන්නේ නෑ."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon