'ජන බලය' උද්ඝෝෂණය හෙට: කොළඹ හා ඒ අවට නගරවලට දැඩි රැකවල්

  👤  2436 readers have read this article !
Published by : MB WEB 2018-09-04 13:11:30

චාමර අමරසූරිය

ඒකාබද්ධ විපක්ෂය හෙට (05දා) පැවැත්වීමට නියමිත "ජන බලය කොළඹට" උද්ඝෝෂණය හේතුකර ගනිමින් කොළඹ හා තදාසන්න නගරවල ආරක්ෂාව තර කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තුව ආදී ස්ථාන පිහිටි ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් "මව්බිම"ට පැවැසීය.

මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා පොලිසියට අමතරව, පොලිස් කැරැලි මර්දන කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද සූදානමින් තබා ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.

එදිනට කොළඹ රථවාහන හැසිරවීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයිද එම නිලධාරියා කීය.

මේ උද්ඝෝෂණ මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙසද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

පොලිස්පතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (03දා) දිනට යෙදී තිබුණු 152 වැනි "පොලිස් දින" සැමරුම නිමිත්තෙන් පැවැති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා,
"උද්ඝෝෂණ පැවැත්වෙන්නේ බදාදා. එය කාර්යබහුල කාර්යාලයීය දිනයක්. ඒ වගේම එය පාසල් දවසක්. ඒ නිසා ඔවුනට අපහසුතාවකින් තොරව කාර්යයන් නිමකොට ආපසු නිවෙස්වලට යෑම අවශ්‍යයි. ඒ අයට හිරිහැර කරන්නවත්, කරදර කරන්නවත්, නවත්තන්නවත්, කලින් කෙරුවා වගේ අකටයුතු රහසිගත දේවල් කරන්නවත් බැහැ.

ඒ අයටත් අපි ආරක්ෂාව දෙනවා. නමුත් ඒ අය දැනගන්න ඕනෑ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගන්නා ගමන් අනෙකුත් අයට හිරිහැරයක් නොවී ක්‍රියා කළ යුතුයි. අධි මර්මස්ථානවලට මෙන්ම සුවිශේෂී ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදා තිබෙනවා. කඩාකප්පල් වැඩවලට හිංසාකාරී වැඩවලට ආවොත් අපිට අවම බලය නොවේ අවශ්‍ය බලය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. ඒක කිසිම පෞද්ගලික න්‍යාය පත්‍රයකට කරන වැඩක් නොවෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon