තරග කිහිපයක් අකිලට හා චන්දිමාල්ට අහිමියි

  👤  1975 readers have read this article !
Published by : MB WEB 2018-09-04 15:05:17

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුල් තරග කිහිපය ක්‍රීඩා නොකිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

සිය පවුලේ පෞද්ගලික හේතුවක් නිසා එසේ අකිල ධනංජය ක්‍රීඩා නොකරන බව පැවැසෙන අතර තරගාවලියේ දෙවැනි වටයේදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපති ගේ‍රහැම් ලැබේ‍රා්යි "සැප්තැම්බර් 15 සහ 17 අතර කාලයේ අකිල ධනංජයගේ බිරියට, ඔවුන්ගේ පළමු දරුවා ලැබීමට නියමිතව ඇති නිසා ඔහු ශ්‍රී ලංකා සංචිතයට නම් කළත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ඩුබායි බලා පිටත්ව යන්නේ නැහැ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පිට දඟ පන්දු යවන්නකු සිටීම ඉතා වැදගත්. ඒ අනුව අපි දිල්රුවන් පෙරේරාව ශ්‍රී ලංකා සංචිතයට නම් කළා. කෙසේ වෙතත් එක්දින තරග ආකෘතියේදී අපගේ අංක එකේ පන්දු යවන්නා වන්නේ අකිල. මේ හේතුව නිසායි 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් වෙනුවට 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට පියවර ගත්තේ" යනුවෙන් ප්‍රකාශ කර ඇත.

මේ අතර පසුගියදා නිමාවට පත්වූ 'එස්.එල්.සී. ඊ-20 ලීග්' අන්තර් පළාත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ තරගයක් අතරතුර දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා මැද ඇඟිල්ලේ ආබාධයකට ලක්වී ඇති බව ද දැනගන්නට ඇත. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහුගේ ආබාධය සුව නොවුණහොත් මෙම තරගාවලියේ මුල් තරග කිහිපය සඳහා චන්දිමාල්ගේ සහභාගිත්වයද අවිනිශ්චිත වන අතර දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට හිමි වීමට ඉඩ ඇති බව ද පැවැසේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon