කටුපොත මහකෙළිය හරහා කුරුණෑගල පාරේ සංවර්ධනය ඉබි ගමනේ බෝක්කු කඩනවා - බාගෙට හදනවා

  👤  1915 readers have read this article !
Published by : MB WEB 2018-09-05 07:19:27

රඹාවැව - කේ.ඒ. ජයසූරිය

කටුපොත මහකෙළිය හරහා කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කටුපොත සිට මහකෙළිය දක්වා මාර්ගයේ දුර කිලෝමීටර් 12කි. මේ වන විට මාර්ගය ඉතා අබලන් තත්ත්වයක පවතී. මෙයට වසර 4කට පමණ පෙර සිට මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ වුවත් එම කටයුතු මන්දගාමීව සිදුවන බව ජනතාව පවසති.

මෙම මාර්ගයේ දැනට වසර 3ක පමණ සිට බෝක්කු අලුත්වැඩියාව ආරම්භ කර ඇත. දැනට බෝක්කු 10ක වැඩ අතරමඟ නැවැතී ඇත.

සියලුම බෝක්කුවල වැඩ බාගෙට කෙරී ඇත. මෙම අනතුරුදායක බෝක්කුවලට වැටී රාත්‍රි කාලයේ යතුරුපැදි කිහිපයක ගමන් කළ පුද්ගලයන් තුවාල ලබා රෝහල් ගත කළ බවද ජනතාව පවසති.

වාරියපොළ මැතිවරණ කොට්ඨාසයට අයත් මෙම මාර්ගයේ වැඩ ඉක්මනින් නිම කර දෙන ලෙස අභ්‍යන්තර හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගෙන් ඉල්ලීම් කළද තවමත් එය ඉටු වී නොමැති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

කටුපොත ප්‍රාදේශීය බී රෝහලේ සිට අමාරු රෝගීන් ගිලන් රථයෙන් ප්‍රවාහනය කරන්නේද මෙම මාර්ගයෙනි.

එමෙන්ම බමුණකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කටුපොත පොලිසිය වැඩි රාජ්‍ය ආයතන, පාසල් මෙන්ම පෞද්ගලික කර්මාන්තශාලා රැසක්ද මෙම මාර්ගය දෙපස පිහිටා ඇත. කටුපොත සිට කුරුණෑගල නගරයට යෑමට ඇති කෙටිම මාර්ගයද මෙය වේ.

වැඩගම, ගංසිරියාව, බමුණුකොටුව වල්පොල, ගිනිමාන්න පනාගමුව, දඹැලියද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව ගමන් කරන්නේද මෙම මාර්ගයෙනි.

"මෙම මාර්ගයේ වැඩ ආරම්භ කරල දැන් අවුරුදු 4ක් විතර වෙනවා. දවස ගාණේ පාරේ ටික ටික කැඩෙනවා. මිනිස්සුන්ට වාහනයක පාරේ යන්න බැහැ. බෝක්කු කඩනවා. මාස ගණනක් ඉඳල ටිකක් හදනවා. ආයෙත් මාස ගණනක් ඉන්නවා. කොන්ත්‍රාත්කරුවන්ට ඕනෑ විදියට වැඩ.

මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් තමයි බලන්නේ. ඒ වුණාට වැඩේ කෙරෙන්නේ නැ. කියන්න ඕනෑ වගකිවයුත්තන්ට කිව්වා" යැයි කටුපොත රන්දෙණිය රජමහ විහාරාධිපති දේවවැදි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මාහිංගමුවේ සුමණජෝති හිමියෝ පැවැසූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon