11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය ප්‍රබල සිංගප්පූරුවත් පැරැදූ ලංකාව අපරාජිතව ඉදිරියටම යයි

  👤  1820 readers have read this article !
Published by : MB WEB 2018-09-05 10:14:21

ආසියාවේ කාන්තා දැල්පන්දුව තුළ ආධිපත්‍ය පතුරුවාගත් සිංගප්පූරුවට එරෙහිව ලකුණු 74-61ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවට ළංවීමට තිබූ ප්‍රධානතම කඩුල්ලක් පැන ගැනීමට ඊයේ සමත් විය.

ඒ අනුව සිංගප්පූරුවේ ඕ.සී.බී.සී එරීනා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙවර ආසියානු දැල්පන්දු තරගාවලියේ කුසලාන වටයේ පළමු තරග වටය නිමාවන විට එහි පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර දෙවැනි ස්ථානය මැලේසියාවටත්, තෙවැනි ස්ථානය සත්කාරක සිංගප්පූරුවටත් හා සිවුවැනි ස්ථානය හොංකොං රාජ්‍යටත් හිමිව ඇත.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ(4දා) පස්වරු 4.30ට ආරම්භ වූ මෙම තරගයේ පළමු කාර්තුවේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල වුවත් එම කාර්තුව ලකුණු 18-12ක් ලෙස පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී දුලංගි වන්නිතිලක හා හසිතා මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු එක් කළහ. පිටියේ මධ්‍ය ක්‍රීඩිකාව ලෙස කටයුතු කළ ගයන්ජලී අමරවංශ හා විදින්නිය ලෙස කටයුතු කළ තර්ජනී ශිවලිංගම්ද ලකුණු පුවරුව වේගවත් කිරීමට අනගි සහායක් දැක්වීය.

කෙසේවෙතත් තියුණු මුහුණුවරක් ගත් දෙවන කාර්තුවද ලකුණු 19-16ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එම කාර්තුව නිමාවන විට ලකුණු 37-28ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගත්තේය. ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තෙවැනි කාර්තුවත් ලකුණු 21-14ක් ලෙස ජය ගැනීමට සමත් වූයේ ජයග්‍රාහී රිද්මය තවදුරටත් රඳවාගනිමිනි. ශ්‍රී ලංකා නායිකා චතුරංගනී ජයසූරිය හා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන ගයනි දිසානායක එම කාර්තුවේදී කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආදේශන කිහිපයක් සිදුවුණු සිවු වැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේම අඩුපාඩු කිහිපයක් හේතුවෙන් ලකුණු අතරට පිවිසි සිංගප්පූරු ක්‍රීඩිකාවෝ 19-16ක් ලෙස එම අවසන් කාර්තුව ජය ගැනීමට සමත් වූ වත් අවසානයේ ලකුණු තත්ත්වය 74-61ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මේ අතර ඊයේ පැවැති අනෙක් තරගවලදී තායිලන්තය හමුවේ බෘනායි රාජ්‍ය ලකුණු 66-33ක් ලෙසත් පිලිපීනය හමුවේ පාකිස්තානය ලකුණු 62-36ක් ලෙසත් පරාජය වූ අතර ඉන්දියාව හමුවේ ජපානය ලකුණු 65-57ක් ලෙස පරාජය වී තිබිණි. තවද මැලේසියාව හමුවේ හොංකොං ලකුණු43-53ක් ලෙස පරාජය වූ අතර මාලදිවයින හමුවේ චීන තායිපේ කණ්ඩායම ලකුණු 73-10ක පරාජයක් අත්කර ගත්තේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (5දා) මැලේසියාව සමඟින් තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට එම තරගය ආරම්භ වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon