වරකන්ද පාලමට සම්බන්ධ පාර ඉඩම් හිමියකුගෙන් දැඩි බාධා

  👤  1724 readers have read this article !
Published by : MB WEB 2018-09-06 07:19:03

උකුවෙල - ප්‍රියන්ත පොල්වත්ත

පහළවෙල, වරකන්ද පාලමට සම්බන්ධ ප්‍රධාන මාර්ගය වැසි සහිත දිනවල ජලයෙන් පිරී පැවැතීම නිසා ප්‍රදේශයේ ජනයා බොහෝ පීඩාවන්ට ලක් වූහ. එබැවින් එම ජනතාවගේ ඉල්ලීම මත උකුවෙල ප්‍රාදේශීය සභාවේ සිසිර ජයම්පති (ශ්‍රී ලපොපෙ) මන්ත්‍රිවරයා සිය මාසික දීමනාවෙන් එම මාර්ගයේ පැති කානුවට සම්බන්ධ කර බට කිහිපයක් යොදා එම ජලය බැස යෑමට කටයුතු කළ අතරේ ඉඩම් හිමියකු විසින් එම බට දෙපස පස් දමා වසා දැමීම පිළිබඳ ජනතා අප්‍රසාදයක් පළ වේ.

මේ පිළිබඳව සොයා බැලීමට මන්ත්‍රිවරයා එම ස්ථානයට පැමිණි අතර එහිදී ප්‍රකාශ කළේ කානුව වසා දැමීම වරදක් බවත් වැසි දිනවලදී පාසල් යන ළමයින් තම දරුවන් යතුරුපැදියක හෝ ත්‍රීවීල් රථවලින් රැගෙන යෑමට වූ අවස්ථා ඇති බව. ඒ නිසා මන්ත්‍රිවරයාගේ දීමනාවෙන් මෙවැනි කටයුත්තක් කිරීම පහළවෙල ගමට කරන යහපත් ක්‍රියාවක් මෙන්ම ගෞරවයක් බවයි.

මෙම අවස්ථාවේදී සිසිර ජයම්පති මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ,
මේ පාලම නුවර මාතලේ පාරට යන්න ඇති ඉතාම පහසු පාරක්. එසේම ගම හරහා ඇති මංමාවත් සියල්ලක් වාගේ යන්නේ වරකන්ද පාලම උඩින්. ඒ වගේම කොටුවේ ගෙදර, දෙහිපිටිය, අයිත්තාලියද්ද ඇතුළු ගම්මාන රාශියකට යා හැකි බවයි.

ඩී.ජී. උක්කු බණ්ඩා මහතා
වැසි දවස්වලට මේ පාරෙන් කිසිම කෙනකුට යන්න බැහැ වතුර පිරෙනවා. මෙවැනි පාරක තත්ත්වය ගැන සභාවට දන්වා ඇති බවත් මේ සඳහා තොරතුරු සොයා බලලා මන්ත්‍රි දීමනාවෙන් කටයුතු කිරීම ගැන ගමේ අපි ඉතාම සතුටට පත්වනවා. මේ ඇළ අයිනේ ඉන්න අයට මේවායින් කිසිම වැඩක් නැහැ. දුක් විඳින්නේ ගමේ ඉහළ ඉඳලා එන අය පමණයි.

ටී.එම්. සුනිල් තෙන්නකෝන් මහතා
බට දෙකක් දාලා වතුර ඇළට යන්න හදලා තිබීම ගමම සතුටට පත් වෙනවා. ඒකේ දුක දකින්නේ වැහි දවස්වලට ප්‍රධාන පාරට යන්න එන මිනිස්සු හෝ ළමයි විතරයි. හිතක් පපුවක් නැති අයට මේවා තේරෙන්නේ නැහැ. සුඛෝපභෝගී ජීවිත ගත කරන අයට තේරෙන්න කාලයක් යනවා. කොහොම වුණත් කරපු වැඩය හොඳයි. බටවල කට දෙපැත්ත පස් දමලා වහපු එක නම් හොඳ වැඩක් නෙවෙයි. අනවසර කොටසක ඉඳලා වැරැදි වැඩක් කරන එක වරදක්.

ආර්.එම්.ඩබ්.ජී. වනසිංහ
අනවසර ඉඩම් කොටසක් තමයි මේ අල්ලගෙන ඉන්නේ. බලන කාට වුණත් පේනවා හොඳ නරක. මෙතන පාලම් දෙකක් තියෙනවා. අලුත් හා පැරැණි පාලම. පැරැණි පාලමට යාබදව අලුත් පාලම හදන විට අඩි 15-20ක් විතර ප්‍රමාණයක් පේන්න තිබුණත් ඒකට අයිතිවාසිකම් කියන්න බැහැ. එම නිසා පැරැණි පාලම ඉවත් කළාම පේනවා කොපමණ ප්‍රමාණයක් අයිති කරගෙනද කියලා. සභාවත් මේවට වග කියන්න වෙනවා.

ආර්.ජී. ලීලාවතී
මේ පාරේ වැහි දවස්වලට යන්න බෑ. වතුර පිරෙනවා. පාන්දර ගමනක් යන්න ආවොත් වැහි දවස්වලට වට රවුමක් ගිහිල්ලා නුවර පාරට යන්න වෙනවා. මන්ත්‍රිතුමා මේ කරපු වැඩය අපි ගමක් විදියට සතුටු වෙනවා.

ඒ.ජී. සමරජීව මහතා
බටයක් දමලා වතුර බහින්න හදපු එක ගැන නම් ඉතාම සතුටුයි. වයසක අපිටත් ලෙහෙසියි. රෝහලටවත් සමහර දවස්වලට යන්න බෑ. ඒ වගේම පාසල් ළමයි හරියට කරදර වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon