ජපානයට බලපෑ දරුණු භූ කම්පන සහ නාය යෑම්

  👤  1864 readers have read this article !
Published by : MB WEB 2018-09-07 13:15:38

ජපානයේ උතුරු දිග පිහිටි Hokkaido දිවයිනට බලපෑ භූ කම්පනයක් හේතුවෙන් ඇති වූ පස් කඳු කඩාවැටීම් නිසා නිවාස බොහොමයකට හානි සිදුව තිබේ.

පුද්ගලයන් අට දෙනකු පමණ මියගොස් ඇති අතර, 40 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මැග්නිටියුඩ් 6.7 ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනයෙන් තාප විදුලි බලය නිපදවන ස්ථානයකට හානි වීමෙන් මිලියන තුනකට ආසන්න පිරිසකට විදුලි බලය නැති විය.

පසුගිය දින කීපය තුළ බටහිර ජපානයට බලපෑ 'ජෙබී' නමින් හැඳින්වුණු දරුණු කුණාටුවත් සමගම මෙම භූකම්පනය ඇති වී තිබේ.

කුණාටුවෙන් පුද්ගලයන් දස දෙනෙකු පමණ මියගිය අතර, විශාල දේපළ හානි සිදු විය. එය වසර 25කට පසු ජපානයට බලපෑ දරුණුතම කුණාටුවයි.

මෙම භූ කම්පනය නිසා සුනාමි අවදානමක් හටගෙන නොමැති බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව පැවසීය.

ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් ඔවුන්ගේ අත්දැකීම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර තිබෙනු දක්නට ලැබේ.

ආහාර ගබඩා කරගැනීම සඳහා බොහෝ පුද්ගලයන් වෙළෙඳසල්වල දිගු පෝලිම්වල සිටින බව දැක්වෙන සටහන් සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබේ. තවත් භූ කම්පන ඇති විය හැකි යැයි ඔවුහු බියෙන් පසුවෙති.

පසු කම්පන ඇති විය හැකි බැවින් ජනතාවට අවධානයෙන් පසු වන ලෙස බලධාරීහු අනතුරු අඟවති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon