කහ පාලමේ යනකොට මාරයා අත වනනවා

  👤  1739 readers have read this article !
Published by : MB WEB 2018-09-10 09:50:31

රාජාංගණය - කේ.එම්. චන්දික

1964 වර්ෂයේදී රාජාංගණය ගොවි ජනපදය ආරම්භ වී කෙටි කලක් ගත වෙද්දී රාජාංගණය ව්‍යාපාරයේ වම් ඉවුර හා දකුණු ඉවුර යා කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කලාඔය මතින් පාලම ඉදිකළේය. ප්‍රදේශයේ ජනතාව අතර මෙය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කහ පාලම යන නමිනි. කහ පාලම ඉදිකළ දා පටන් මේ දක්වා ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා පාලම භාවිත කරන රියැදුරන් මෙන්ම මගීන්ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

කිලෝමීටර් 30ක් පමණ දුරක් ගෙවාගෙන දකුණු ඉවුරේ ජනයාට වම් ඉවුරටත් වම් ඉවුරේ ජනයාටත් යෑමට තිබූ දුර කිලෝමීටර් 4ක් 5ක් දක්වා අඩු කිරීමට පාලම මහඟු දායකත්වයක් ලබාදුන්නේය.

පැරකුම්පුර, ජයන්තිපුර, බබරේ, සෝලේවැව, සාලියවැව, වම්ඉවුරේ යාය 1,2,3,4,5, ගම්මානවල වැසියන් දුර බැහැර ගමන් යෑම සඳහා තඹුත්තේගම නගරයට යන්නේ මෙම මාර්ගය ඔස්සේය. මෙමඟින් දෙවුරේ ජනතාව අතර දැඩි මිත්‍රශිලී බවක්ද ඇතිවිය.

රාජාංගණය වම් ඉවුරේ සිට දකුණු ඉවුර හරහා කොළඹට බස් රථයක් ගමන් ගත්තද මෙහි අබලන් තත්ත්වය නිසා එම බස් රථය දැනට ධාවනය නොවේ. පැරකුම්පුර රෝහලේ සිට අසාධ්‍ය රෝගීන් තඹුත්තේගම රෝහලට හෝ අනුරාධපුරයට ගමන් කරන්නේද මෙම මාර්ගයෙනි.

අධික වර්ෂාවක් සහිත දිනවල අඩි 25ක් පමණ උස ජල කඳක් මෙම පාලම මතින් ගමන් ගන්නා අතර එවන් දිනවලදී යම් අනතුරක් සිදුවුව හොත් පාලම මතින් ගමන් ගන්නා මගීන් පමණක් නොව ගමන් ගන්නා පිරිසගේ මළ සිරුර සොයා ගැනීමට වන්නේ පුත්තලම් මුහුදෙන් බවද ජනතාව පවසති.

මෙම පාලමට ලෑලි විශේෂයක් අතුරා ඇත. ඒවාගේ ආරක්ෂාවට ඊට උඩින් යකඩ තහඩු අතුරා තිබේ. කිසියම් පිරිසක් මෙම යකඩ තහඩු ගලවා ගෙන යෑම නිසා දිරාපත් වී පවතින ලෑලි ඉතා හොඳින් දර්ශනය වන බව ජනතාව පෙන්වා දෙති.

වසර 40කට වඩා වැඩි කාලයක් ප්‍රතිසංස්කරණය නොකර දැඩි අවදානමකට ලක්ව ඇති පාලමට බලධාරීන්ගේ අවධානය යොමුකර ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon