ආසියානු දැල්පන්දු කිරුළ දැන් අපේ

  👤  2162 readers have read this article !
Published by : MB WEB 2018-09-10 06:40:33

සිංගප්පූරුවේ ඕ.සී.බී.සී. එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (9දා) නිමාව දුටු 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50ක් ලෙස පරදවා ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම වසර 9කට පසු යළිත් ආසියානු ශූරියන් බවට පත්වීමට සමත් විය. එමෙන්ම ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල්හි පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියටද ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේය.

තවද මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින් ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු දැල්පන්දු ඉතිහාසයේ ඔවුන් හිමිකරගත් 5 වැනි ශූරතාව සටහන් කළේය. ශ්‍රී ලංකාව මීට පෙර 2009, 2001, 1997 හා 1989 යන වර්ෂවලදීද ශූරියන් වී ඇති අතරම ආසියානු දැල්පන්දු ඉතිහාසයේ ශූරතාව වැඩිම වරක් හිමිකරගෙන ඇති කණ්ඩායමද වෙයි. තවද මෙවර තෙවැනි ස්ථානය ලකුණු 46-52ක් ලෙස හොංකොං පිල පරජය කළ මැලේසියාව විසින් දිනාගන්නා ලදී.

කෙසේ වෙතත් ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අවසන් මහා තරගයේ පළමු ලකුණ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාර්තා වූ අතර, ආරම්භයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුවත් ගිලිහී ගිය රිද්මය කාර්තුවේ අවසන් මොහොතේ යළිත් ලබාගෙන ලකුණු 16-16ක් ලෙස එම කාර්තුව නිමාකරන්නට සිංගප්පූරු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

දෙවැනි කාර්තුවේදීද පළමු ලකුණ ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුවත් එම කාර්තුවේ මුල් මිනිත්තු කිහිපයේ පෙරමුණ ගැනීමට සිංගප්පූරු ක්‍රීඩිකාවෝ සමත් වූහ. නමුත් ඉතාමත්ම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවන කාර්තුව 16-10ක් ලෙස නිමකරන්නට සමත් වීමත් සමඟ ලකුණු පුවරුව 32-26ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත් තෙවන කාර්තුවේදීද අධිෂ්ඨානය මුසුව සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම කාර්තුව ජය ගැනීමට සමත් වූයේ 18-12ක් ලෙසිනි. එහිදී වාර්තා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 38 වැනි ලකුණ පමණක් දුලංගි වන්නිතිලකගෙන් වාර්තා වූඅතර ඉතිරි ලකුණු සියල්ලම තර්ජනී සිවලිංගම්ගේ පන්දු විදීමේ දායකත්වයෙන් වාර්තා වීම කැපී පෙනුණි.

සිවු වැනි කාර්තුවේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අභියෝගයක් එල්ල කිරීමට උත්සාහ කළද එම අවස්ථා සියල්ලම දක්ෂ ලෙස මඟහරිමින් ලකුණු අතරට පිවිසෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. අවසන් කාර්තුව නිමා වන විට ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 69-50ක් ලෙසිනි. එහිදී නායිකා චතුරංගි ජයසූරිය, තර්ජනී සිවලිංගම්,ගයනි දිසානායක, දුලංගි වන්නිතිලක හා තිලිනි වත්තෙගෙදර යන ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට බෙහෙවින්ම ඉවහල් විය.

කෙසේ වෙතත් මූලික වටයේ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන්දියාව හා චීන තායිපේ යන කණ්ඩායම් සමඟින් 'බී' කාණ්ඩයෙන් තරග වැදුණු අතර එහිදී චීන තායිපේට එරෙහිව ලකුණු 137-5ක් හා ඉන්දියාවට එරෙහිව ලකුණු 101-29ක් ලෙස දැවැන්ත ජයග්‍රහණ වාර්තා කර තිබිණි. එම ජයග්‍රහණ සමඟින් කුසලාන වටයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම තරග වටයේදීද සිංගප්පූරුව ලකුණු 74-61ක් ලෙසත්, මැලේසියාව ලකුණු 62-59ක් ලෙස හා හොංකොං ලකුණු 71-48ක් ලෙස පරාජය කර තිබීම කැපී පෙනුණි. එම තරග වටයෙන්ද අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන් වූ හොංකොං කණ්ඩායමට යළිත් ලකුණු 55-46ක පරාජයක් අත්කර දෙමින් අවසන් මහා තරගයට වරම් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස තිලකා ජිනදාස කටයුතු කළ අතර කළමනාකාරිනිය ලෙස තනුජා දිසානායක මහත්මියද, වෛද්‍යවරයා ලෙස ලාල් ඒකනායක මහතාද කටයුතු කලේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වයට තිලකා ජිනදාස පත්කරන අවස්ථාවේදී දැඩි බාධා එල්ල වූ බවට වාර්තා පළවූ අතර එවකට ක්‍රීඩා අමාත්‍ය ධුරය හෙබවූ දයාසිරි ජයසේකර මහතා දැඩි තීරණයක සිට ඇයට පුහුණුකාරීත්වය ලබාදුන්නේය. 2009 වසරේදීද ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය හොබවා ඇත්තේ තිලකා ජිනදාසයි. එමෙන්ම වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අවසන් මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදෙමින් කටයුතු කිරීමද පැසසුම් සහගතය. ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීම සඳහා සිංගප්පූරුවේ මහකොමසාරිස් කාර්යාලයෙන් වැඩි ප්‍රේක්ෂක පිරිසක් ගෙන්වා ඊට අවශ්‍ය පහසුකම් ලබාදී තිබුනු අතර එම කටයුතු සියල්ල සිංගප්පූරුවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් අමීර් අජ්වඩ් මහතාගේ මූලිකත්වයෙන් සිදු කර තිබිණි.

සටහන-සඳරු පෙරේරා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon