කාලෙකට පස්සේ තාත්තා නිසා දකින්න ලැබෙන මෞලි

  👤  2419 readers have read this article !
Published by : MB WEB 2018-09-14 18:30:29

මේ දිනවල සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන තාත්තා ටෙලි නාට්‍යය මේ වන විට බොහෝ දෙනකුගේ අවධානය, ආදරය දිනාගන්න සමත් වුණු ටෙලි නාට්‍යයක්.

සිරගෙදරක තනිවුණු පියකු සහ ඔහුගේ පුතා වටා ගෙතුණු මෙම නාට්‍ය කලෙකින් අපේ රටේ රසිකයන්ට දකින්න ලැබුණු හොඳ නිර්මාණයක් කීවොත් නිවැරැදියි. ඉතින් තාත්තා හරහා ඔබේ ආලින්දයට එන සුනිමල් හෙවත් මෞලි ෆර්ඩිනැන්ඩුව මෙවර හදගැස්මට එකතු කරගන්න අපි හිතුවා.

ඉතින් මෞලි, කොහොමද තාත්තා නිසා ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කාලෙකට පස්සේ තමයි නිර්මාණයකට එකතු වුණේ. ඉතින් ඒ ගැන සතුටුයි.

අපි හැමදාම දකින ටෙලි නාට්‍යවලට වඩා තාත්තා නාට්‍ය ගොඩක් වෙනස්. මේ වෙනස කොහොමද මෞලිට දැනුණේ?

ඇත්තටම තාත්්තා කෙනෙක්ගේ ආදරේ ගැන අපේ සමාජයේ විවෘතව කතා කරන තැන් හරි අඩුයිනේ. ඉතින් ඒ ආදරේ ගැන හරිම ලස්සනට කතා කරන නාට්‍යයක් විදියට තාත්තා හඳුන්වන්න කැමැතියි.

තාත්තා වගේ නාට්‍යවලට ලංකාවේ ඉල්ලුමක් තියෙනවා කියලා හිතනවාද?

මෙහෙමනේ, චයිනීස් කාලා කාලා එපාවෙලා, දැන් ආපහු හැම හෝටලේම තියෙන්නේ ගමේ කෑම. මෙතැනත් ඒ වගේ තමයි. විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ බහුතරයක් දැනටමත් මෙගා රැල්ලෙන් එළියට ඇවිත් ඉවරයි.

ඇයි මෞලි අපිට එච්චර දකින්න ලැබෙන්නේ නැත්තේ?

ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් මම වෘත්තීය රංගන ශිල්පියෙක් නෙවෙයි. ඒ නිසා මම යම් තෝරා ගැනීමක් කරපු නිසා සීමිත නාට්‍ය සංඛ්‍යාවකට විතරයි දායක වෙන්න ලැබුණේ. අනෙක් අතට මාව රූපවාහිනියේ නිතර දකින්න නොලැබෙන නිසාත් මට නිර්මාණවලට එකතු වෙන්න තියෙන අවස්ථාවන් යම් අඩුවක් තියෙනවා.

ඇයි වෘත්තීයමය නළුවෙක් නොවෙන්නෙ?

මම රංගන ක්ෂේත්‍රයට ගොඩක් ආසයි සහ ගොඩක් ගරු කරනවා. හැබැයි මගේ වැඩි ඇල්ම තියෙන්නේ නීති ක්ෂේත්‍රයට. මම නීතිවේදී උපාධිය හදාරලා මේ වසර අවසානයේදී නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටින්න නියමිතව ඉන්නවා. ඉතින් මම කවදාහරි රංගනයෙන්ම යැපෙන කෙනෙක් නොවන නිසා හොඳ දෙයක් සඳහා තෝරා බේරාගෙන එකතුවෙන්නත් කවදා හරි අධ්‍යක්ෂවරයකු ලෙස ඉදිරියට එන්නත් හීනයක් තියෙනවා.

තෝරා බේරාගෙන රඟපෑවොත් සුපිරි නළුවෙක් වෙන්න පුළුවන් කියලද මෞලි හිතන්නේ?

නැහැ. ඒ කතාව වැරැදියි. තෝරාබේරා ගෙන රඟපෑවා කියලා ගැඹුරක් නැති තැනකට එකතු වුණොත් හොඳ නළුවෙක් බිහිවෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගැඹුරක් තියෙන නිර්මාණවලටම සම්බන්ධ වුණා කියලත්, හැකියාව නැත්නම් හොඳ නළුවෙක් හෝ නිළියක් වෙන්න බෑ. උදාහරණයකට හේමසිරි ලියනගේ, ජයලත් මනෝරත්න, බිමල් ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු වගේ චරිත මොන නිර්මාණයක හිටියත් රංගනයෙන් පිරිච්ච මිනිස්සු. මොකද රංගනය කියන්නේ රඟපෑම නොවෙයි. චරිතය තුළ ජීවත් වීමයි. ඇත්තටම ඒ විදියට මගේ හැකියාවන් අත්හදා බලන්න මට තවම හරියට අවස්ථාවන් ලැබිලා නෑ.

පසුගිය කාලෙම මෞලිව දැක්කේ ළමා චරිතයක් විදියට. දැන් ඔබ තරුණයෙක්. ප්‍රේමවන්ත චරිතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

එක ප්‍රේම චරිතයක් මම නිරූපණය කළා. ඒ "පැරීසියට යන පාර දිගේ" කියන නාට්‍යයේ. ඊට අමතරව එහෙම අවස්ථාවක් ලැබිලා නැහැ. හැබැයි ඒ වගේම චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා.

එතකොට සැබෑ ජීවිතේ අත්දැකීම් රංගනයට එකතු කරගන්න අවස්ථාවක් ලැබෙයි. එහෙම නේද?

(සිනාසෙමින්) වර්තමානයේ නම් එහෙම අත්දැකීම් නැහැ. අතීත අත්දැකීම් නම් එකතු කරගන්න පුළුවන් වෙයි.

නිසල් උවිදු

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon