මාව ගොඩදැම්මේ අතුරුගිරියේ පියසිරි

  👤  2461 readers have read this article !
Published by : MB WEB 2018-09-12 10:01:27

දෙරණ 60 Plus වැඩසටහනේදි ඔබට ජනප්‍රිය තරුවට හිමි සම්මානය හිමි වුණා. ඒ ගැන සතුටු ඇති?

බොහොම සතුටුයි. මම මුලින්ම දෙරණ ආයතනයට ස්තුතිවන්ත වෙනවා අපිට අවස්ථාව ලබාදීලා, අපිව මේ තැනට ගෙනාපු එකට.

මාව ජනප්‍රිය තරුව කළේ රටේ ජනතාව. මේ ජයග්‍රහණය මට හිමිවුණේ ඔවුන් නිසා. ඒ නිසා මේ ජයග්‍රහණය හැමෝටම අයිතියි. මගෙත් එක්ක තරගයේ හිටපු අනෙක් තරගකරුවන්ටත් මේ ජයග්‍රහණය අයිතියි.

සම්මානය හිමිවුණු වෙලාවෙ සම්මානෙත් අරගෙන දිව්වෙ කා ළඟටද?

විනිශ්චය මණ්ඩලය ළඟට ගියා. ඊළඟට මට මගේ යාළුවව හොයාගන්න බැරුව තමයි දිව්වේ. මගේ අතුරුගිරියෙ පියසිරි කියලා යාළුවෙක් ඉන්නවා. තරගයට ඇප්ලිකේෂන් එක දාපු දවසෙ ඉඳන්ම එතුමා තමයි මට උදවු කළේ. මාව තරගයට එක්කගෙන යනවා එනවා. බස් එකට යන්න සල්ලි දෙනවා. අපේ හිතවත්කම දැන් අවුරුදු හතළිහකටත් වැඩියි. එතුමාව තමයි මම දුවලා ගිහින් වේදිකාවට එක්කගෙන ආවේ.

එතුමා එතුමාගේ ගම වටේටම ගිහින් ප්‍රදේශවාසීන්ට වගේම විවිධ ආයතනවලට ගිහින් මාව හඳුන්වලා දීලා මට ඉර්ඉ ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා.

දක්ෂතම තරුව නොවීම පිළිබඳව දුකක් නැද්ද?

දුක නැහැ. මම මේ තරගයට ඉදිරිපත් වුණේ තෑගි බෝග බලාපොරොත්තුවෙන්වත් ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්වත් නෙවෙයි. තරගයට ගිහිල්ලා සින්දුවක් දෙකක් කියන්න තමයි මට අවශ්‍ය වුණේ. නමුත් මගේ පළමුවැනි ගායනයෙන්ම මගේ වාසනාවට බෝගොඩ මහත්මයා දීපු කමෙන්ට් එකත් එක්ක මාව ගොඩක් ජනප්‍රිය වුණා. ගොඩක් අය මාව හඳුනාගත්තා.

විනිශ්චය මණ්ඩලයෙන් සාධාරණ විනිශ්චයක් ලැබුණා කියලා හිතනවාද?

ඔව්, විනිශ්චය මණ්ඩලය කාගෙවත් පැත්ත ගත්තෙ නැහැ. සියලුම තරගකරුවන්ට එක වගේ සැලකුවා. අපේ අඩුපාඩුකම් පෙන්වලා දීලා අපිව ඉදිරියට ගෙනාවා. ඒ වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයට හිස නමා ආචාර කරනවා.

ඔබ ගීත තෝරාගනිද්දි විශේෂයෙන් සැලකිලිමත් වුණු කාරණා මොනවාද?

නව පරපුරේ අලුත් ගීත අපිට කියන්න බැහැ. එදා ඉඳන් අපිට ඇහුණු පැරැණි ගීත තමයි මම ගායනා කළේ.

ඔබ තරගයේදී වැඩිපුර ගායනා කළේ කාගේ ගීතද?

එහෙම එක ගායකයකුගේ ගීත වෙනුවෙන් විශේෂත්වයක් දැක්වුවේ නැහැ. ධර්මදාස වල්පොළ මහත්මයාගේ ගීතයක් තමයි මුලින්ම ගායනා කළේ. එතුමාට මම පින් අනුමෝදන් කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම එතුමාගේ පවුලේ අයටත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ ගීතයට පදවැල් ලියූ පුද්ගලයාගේ සිට සංගීතය නිර්මාණය කළ අය දක්වා සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මම මේ තරගයේ මෙතෙක් ගායනා කළ සියලුම ගීතවල හිමිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් ස්තුතිවන්ත වෙනවා. හැමදෙනාටම පින්.

ඔබ සංගීතය හදාරා තිබෙනවාද?

මම සංගීතය හදාරලා නැහැ. මට සහජයෙන් ලැබුණු හැකියාවක් තියෙන්නෙ. මම පාසල් ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට. පාසල් කාලයේ ඉඳන්ම මේසවලට ගගහා අපි සින්දු කිව්වා. පාසල් වේදිකාවෙත් සින්දු කියන්න මට අවස්ථාව හිමි වුණා. මම පාසල් වේදිකාවෙ සින්දු කියනකොට අපේ අම්මා හරි ආසයි ඒවා අහන්න.

ලැබූ ජයග්‍රහණය සමඟින් ත්‍යාග රැසකට හිමිකම් කිව්වා නේද?

ඔව්, ජනප්‍රියම තරුවට හිමි සම්මානය හිමි වුණා. ඒ වෙනුවෙන් ඩයලොග් ආයතනයෙන් රුපියල් ලක්ෂ එකහමාරක මූල්‍යමය ත්‍යාගයකුත්, දෙරණ ආයතනයෙන් රුපියල් ලක්ෂයක මූල්‍යමය ත්‍යාගයකුත් හිමිවුණා. මේ තරගයේ අවසන් තරගකරුවන් දහදෙනා අතරින් අට වැනි ස්ථානය මට හිමි වුණා. ඒ වෙනුවෙනුත් සම්මානයක් හිමි වුණා.

ලැබුණු මුදල් තෑගිවලින් ඉදිරියට මොනවාද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ?

පවුලේ කටයුතු වෙනුවෙන් යොදවන්න තමයි ඉන්නෙ.

ඔබ දැන් ගමේ තරුවද?

මම දැන් පදිංචි වෙලා ඉන්නෙ අනුරාධපුරේ. මුළු උතුරු මැද පළාතම මට උදවු කළා. ජනතාව මට ලබාදුන්නු ප්‍රතිචාර නිසා මම දැන් ගමේ විතරක් නෙවේ ලංකාවෙම තරුවක් වෙලා.

ගීත ගායනයට අමතරව ඔබේ දක්ෂතා මොනවද?

මට රඟපෑමත් කරන්න පුළුවන්.

ඔබේම ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?

එහෙම අදහසකුත් තියෙනවා. මේ ජයග්‍රහණයත් සමඟ වේදිකාවෙත් ගීත ගායනා කරන්න අවස්ථාව හිමිවෙයි. යුග ගීතයක් කරමු කියලා මංජුලා සෙව්වන්දි කියලා පසුගිය තරගයක හිටපු දරුවකුගෙන් ආරාධනාවකුත් ලැබිලා තියෙනවා.

පවුලේ විස්තරත් කියමු?

මගේ පවුලේ නෝනයි, දුවයි, පුතයි ඉන්නේ. නෝනයි, දුවයි දෙන්නම ගුරුවරු. පුතාට අනුරාධපුරේ කඩයක් තියෙනවා. ඔවුන් මට මේ තරගයට එන්න ගොඩක් උදවු කළා.
මට මල්ලි කෙනෙකුයි නංගිලා තුන්දෙනෙකුත් ඉන්නවා.

ස්තුති කරන්නත් පිරිසක් ඇති?

දෙරණ ආයතනයට, මගේ යහළුවාට, පවුලේ අයට, විනිශ්චය මණ්ඩලයට, නිවේදන කටයුතු කළ පුතාට මම ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මට මේ සම්මානය ලබාගන්න පිටරට ඉන්න අපේ ප්‍රේක්ෂකයො ගොඩක් උදවු කළා. කොරියාවෙ ඉන්න දරුවො කිහිපදෙනෙක්ම මට උදවු කළා. ගාල්ලෙ රුවන් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ.

ඒ වගේම මට මේ ජයග්‍රහණය හිමිවුණේ ජනතාව නිසා. ඔවුන්ටත් නැවත වරක් ස්තුතිවන්ත වෙනවා.

ඉරේෂා කල්හාරි සේනාධීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon