'ඝරසරප' චිත්‍රපටයෙන් සිනමාවට එන තරු ලකුණ

  👤  2045 readers have read this article !
Published by : MB WEB 2018-09-10 14:13:15

මේ දවස්වල ඝරසරප චිත්‍රපටයෙන් ඔබව දකින්න ලැබෙනවා. කොහොමද මේ රංගන අවස්ථාව ලැබුණේ?

ඝරසරප චිත්‍රපටයට මට අවස්ථාව ලැබුණේ මගේ මාමා ප්‍රභාත් රෝෂන් නිසා. එයා තමයි ජයන්ත අංකල්ට මාව හඳුන්වලා දුන්නේ. ජයන්ත අංකල් නිසාම මම ඒ චිත්‍රපටයට අනිවාර්යයෙන්ම එන්නම් කියලා කිව්වා.

සිනමාවේ ප්‍රධාන චරිතයක් ලැබෙයි කියලා හිතුවද?

මෙච්චර ඉක්මනට ලැබෙයි කියලා ඇත්තටම මම හිතුවේ නැහැ. මේ වගේ හොඳ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබෙයි කියලා මම කොහොමටවත් හිතුවේ නැහැ.

ප්‍රධාන චරිතයක් කරන්න ලැබීම අභියෝගයක් වුණේ නැද්ද?

අභියෝගයක් වුණේ නැහැ. මොකද ජයන්ත අංකල් මට හුඟක් උදවු කළා. ඔහු මාවයි කවිවයි හොඳට පුහුණු කළා. දෙබස් පවා අපිට එකින් එක කියලා දුන්නා.

ජයන්ත චන්ද්‍රසිරි වගේ අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න ලැබුණු අවස්ථාව ගැන දෙව්නක සතුටු වෙනවා වගේ?

ඇත්තටම ජයන්ත අංකල් නිසා මම රඟපෑම පැත්තෙන් ඉදිරියට ගියා. සතුටුයි මට ඒ ගැන. ඉතින් මේක හොඳ අවස්ථාවක්.

දෙව්නකගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳයි. හිතුවෙත් නැති විදියට ප්‍රතිචාර ලැබුණා. දැනටමත් මට කෙටි පණිවුඩ එනවා "ඔයා හොඳට රඟපානවා" කියලා.

දෙව්නකට හොඳම ප්‍රතිචාරය ලැබුණේ කාගෙන්ද?

චිත්‍රාල් අංකල් මං ගැන ගොඩක් හොඳ කිව්වා. කුසුම් ඇන්ටි, ජැක්සන් අංකල්, පුබුදු, මාෂි ගොඩක් අය හොඳ කිව්වා. මට ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි ඉතින් වැඩි.

නිමන්ති පෝරගේ ඔබගේ නැන්දා. රංගනයේදී ඔබට පවුල් ආභාසයකුත් තියෙනවා නේද?

ඔව්. මම ක්ෂේත්‍රයට ගෙනාවේ මාමයි, නැන්දයි තමයි.

සිනමාවට අලුත් වුණාට ඔබ රංගනයට අලුත් නැහැ නේද?

ඔව්. මම කලිනුත් නාට්‍ය සහ රූපවාහිනි දැන්වීම්වලට දායක වුණා.

ඒ නිර්මාණ ගැනත් මතක් කළොත්?

මම ක්ෂේත්‍රයට ආවේ රූපවාහිනි දැන්වීමකින්. එතකොට මට අවුරුදු හතක් විතර ඇති. ඊට පස්සේ චිත්‍රපටයක් කළා සිරිමල් විජේසිංහගේ "පිටසක්වළ කුමාරයයි පැංචො හතයි" කියලා. "සිහින වසන්තයක්, ගඟ අද්දර" වගේ ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපෑවා. තව වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් කළා.

ප්‍රේම භූමිකාවක් රඟපාපු පළමු අවස්ථාව නේද මේක?

ඔව්. පළමු අවස්ථාව තමයි මේක.

ඔබගේ ප්‍රේ්්ම භූමිකාවට කාවින්ද්‍යාගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද?

ඇත්තටම කවිගෙන් මට සහයෝගයක් නොලැබුණා නම් මටත් මෙච්චර හොඳට රංගනය කරගන්න වෙන්නේ නැහැ.

එක එක කාලවලදී සිනමාවේ ලකුණක් තියපු චරිත ඉන්නවා. ඔබටත් එහෙම ලකුණක් වෙන්න පුළුවන් ද?

බලමු ඉතින්. ඒක මට දැන්මම හරියට කියන්න බැහැ.

දෙව්නක වෘත්තියෙන් රංගන ශිල්පියෙක් නොවෙයි නේද?

මම දැනට තාත්තාගේ යාළුවකුගේ ආයතනයක අලෙවි සම්බන්ධීකාරකවරයෙක් විදියට වැඩ කරනවා.

දිගටම රඟපෑම කරන්න කැමැති නැද්ද?

මම දිගටම රඟපාන්න කැමැතියි. ඒත් මම හිතන්නේ ලංකාවේදී ඉගෙන ගන්නෙ නැතිව කලාව කරන්න අමාරුයි. කලාව කරලා අපි සතුටු වුණත් බලන් ඉන්න කෙනෙක් කියන්නේ "මෙයා හරියට ඉගෙනගෙනවත් නැහැ" කියලා. රැකියාව කළාට කලා කටයුත්තකට ආරාධනා ලැබුණොත් නිවාඩු දාලා හරි මම එයට සම්බන්ධ වෙනවා.

'ඝරසරප'වලින් පස්සේ රංගනයට තවත් අවස්ථා ලැබුණේ නැද්ද?

මට මෙගා නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒත් මම ගියේ නැහැ. හැමදාම ඒවයේ රූගත කිරීම්වලට යන්න වෙනවානෙ. සමහර ප්‍රඩක්ෂන් හරිත් නැහැ. නැන්දත් කිව්වා ඒවට යන්න එපා කියලා. ඉතින් මම ගියේ නැහැ. හැබැයි හොඳ නිර්මාණයක් ආවොත් මම භාර ගන්නවා.

දෙව්නක ගායකයෙක් වෙන්න යනවා කියලත් ආරංචියි?

මම ගීතයක් කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට සින්දුව ලියලා තියෙන්නේ. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම්. ඒ ගීතය ළඟදීම ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
ඡායාරූප - එශාන් දසනායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon