අකුරළ ඇවිදින මංතීරුව උපන් ගෙයිම විනාශයට යයිද?

  👤  1747 readers have read this article !
Published by : MB WEB 2018-09-11 07:48:19

හික්කඩුව - සංජීව මණික්කුවාවඩු

රුපියල් කෝටි ගණනක් වියදම් කොට මේ වසර ආරම්භයේදී ඉදිකළ අකුරළ වෙරළ තීරයේ ඇවිදින මං තීරුව මේ වනවිට විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

එම ප්‍රදේශයේ වෙරළ ඛාදනය අවම කිරීමට ගල්වැටියක් යොදා ඒ මත කිලෝ එකහමාරක් පමණ දිගට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය ඉදිකොට තිබේ.

විදුලි පහන් කණු සියයක් පමණ ඇතිමුත් මේ වනවිටත් විදුලි සැපයුම ලබාදී නැත. සමහර විදුලි ලාම්පු මල බැඳීම නිසා විනාශ වෙමින් පවතින අයුරුද පෙනෙන්නට තිබිණි.

රාත්‍රි කාලයේ විවිධ අපචාර කටයුතු සඳහා මේ ප්‍රදේශය යොදාගනී. මත්පැන් බෝතල්, පොලිතින් වැනි අපද්‍රව්‍ය තැන තැන දමා තිබෙණුද දැක ගන්නට ලැබිණි.

අම්බලන්ගොඩ හා හික්කඩුව නගර දෙක අතර පිහිටි මෙම මංතීරුව බොහෝ පිරිසකගේ ශරීර සුවතා කටයුතු සඳහා වැදගත් වෙයි.

නිසි නඩත්තුවක් නොමැති නිසා විනාශ වෙමින් පවතින බවත් ජනතා මුදල් විනාශ වීමට නොදී නිසි ලෙස නඩත්තු කරන ලෙසත් ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

මේ ප්‍රදේශය පාලනය කරනු ලබන්නේ රත්ගම ප්‍රාදේශීය සභාව මඟිනි. එහි සභාපති ටී. නිමල් මහතාගෙන් විමසීමේදී මේ සම්බන්ධව මෙසේ පැවැසීය.

ඔය වගේ විශාල ව්‍යාපෘතියක් කරනකොට ආයතන අතර සම්බන්ධීකරණයක් තියෙන්න ඕනේ. ඔය කියන ඇවිදින මං තීරුව තවම අපට ලිඛිතව පවරා දීලා නැහැ. තවම විදුලි සැපයුම ලබාදීලා නැති බව ඇත්ත. ඒ වගේම ඉදිකළ දවසේ ඉඳලා කිසිම නඩත්තුවකුත් නැහැ. මේක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළ වැඩක්. ඒ අය අපට පවරා දුන්නොත් නඩත්තු කරන්න පුළුවන්.

අප මේ සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් වෙරළ කළමනාකරණ අධ්‍යක්ෂ එස්.ඒ. මහආරච්චි මහත්මියගෙන් විමසුවෙමු.

මේ ඉදිකිරීම සම්බන්ධව කොන්ත්‍රාත් ගත් සමාගම් සමඟ එළැඹි ගිවිසුම් කාලය අවසන් වෙලා නැහැ. දෙපාර්තමේන්තු මට්ටමින් අපි මේක විවෘත කළා. ඉදිරියේදී මේ මං තීරුව ප්‍රාදේශීය සභාවට භාර දෙනවා. විදුලි සැපයුම ලබාදෙන්න සියල්ල සූදානම් කරලා තියෙන්නේ. බිල් ගෙවන්න ප්‍රශ්නයක් වෙන නිසා තමයි විදුලි සැපයුම ලබාදීම ප්‍රමාද වුණේ. ඉදිරියේදී විසඳුම් ලැබේවි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon