වැලියාව ගමේ පන්සලේ වැඩ බොහොමයක් අතරමඟ නැවතිලා

  👤  1778 readers have read this article !
Published by : MB WEB 2018-09-12 07:10:46

ගල්ගමුවේ -
අරෝෂණ මාන්නප්පෙරුම


සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා වර්තමානය වන විට බොහෝ කාර්යයන් සිදු වෙමින් පවතී. මීට අවුරුදු දෙදහස් පන්සිය හැටකට ඉහත සම්බුද්ධ පරිනිර්වාණයත් සමඟ ලොව්තුරා බුදුරදුන්ගේ ඒ උතුම් බුදු බණ පදය සුවහසක් බෞද්ධයන් අතර ප්‍රචලිත කරන්නට බොහෝ කටයුතු සිදු විය. ධර්ම කතිකාවත්, ධර්ම සංඝායනාවන් පැවත ආවේද ඒ නිසාය.


එදා පටන් අද දක්වා මේ වන විට ගම් දනව් සිසාරා, දෙස්-විදෙස් රටවල් පාසා අස්සක් මුල්ලක් නෑරම ධර්ම ගමන්මඟ පැතිර තිබේ. බුදු දහම රැකගන්නට සුවහසක් බෞද්ධයන් වෙහෙර විහාර පිළිසකර කරන්නේද වෙහෙර විහාර ඉදිකරන්නේද ඒ නිසාය. එහෙත් ඇතැම් ප්‍රදේශවල පවතින දුෂ්කරතා නිසා බොහෝ විහාරස්ථාන ඉදිකිරීම අතරමඟ නතරව තිබෙනු දැකිය හැකිය. නාගරික වෙහෙර විහාර ඉතා දියුණු මට්ටමින් ඔපවත් වෙද්දී දුප්පත් මිනිසුන්ගේ ගමේ පන්සල හදාගන්නට ඔවුන් ගන්නා වෙර වීරිය අපමණය.


එහෙත් ඔවුන්ගේ ආර්ථික රටාවන් ශක්තිමත් නොවීම නිසා සමහර ගැමි ජනතාවගේ පන්සල් සංවර්ධනය කර ගැනීමට හැකියාවක් නැත. එවන් මිනිසුන්ගේ දැඩි උත්සාහයන් මැද ගමේ පන්සල දියුණු කරගන්නට මහන්සි ගන්නා මිනිසුන් පිරිසක් අපට මුණගැසුණේ ගල්ගමුව, මීගලෑව, වැලියාව ප්‍රදේශයෙනි.


කුරුණැගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 103 වැලියාව ග්‍රාම නිලධාරි වසමට අයත් විමල ධර්මාරාම විහාරස්ථානය වර්ෂ 1951 තරම් දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නකි. දෙව්මැදි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක වැහැර විහාරාධිපති වැලියාවේ සුමනසාර හිමිපාණන් බෝධීන් වහන්සේ නමක් තැන්පත් කරමින් ගම්මානයේ මිනිසුන්ට වන්දනාමාන කරන්නට විහාරස්ථානයක් තනවා ඇත.


මැටියෙන් බිත්ති තනා තහඩු සෙවිලි කළ ආවාසගෙය හැරෙන්නට විහාරස්ථාන භූමියේ අන් කිසිදු ගොඩනැඟිල්ලක් ආරම්භයේදී තිබී නැත.


කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගම්මුන්ගේ ආර්ථික හැකියාව ශක්තිමත් නොවීම විහාරස්ථානය දියුණු කර ගැනීමේ උත්සාහය හකුළා දමන්නට හේතු වී තිබේ.
ගමක පන්සලක් කියන්නෙ ගමේ මිනිස්සුයි ගමයි දෙකම සාර්ථකත්වය කරා ගෙනියන්න රුකුලක් දෙන මූලික ස්ථානය. අද වෙද්දී ලංකාව විතරක් නෙවේ ලෝකේ හැම රටකම වගේ බුදු දහම නඟාසිටුවන්න විශාල වැඩපිළිවෙළ රාශියක් සිදු වෙමින් පවතිනවා. ඉතින් ඒ වගේ යුගයක තමා අපේ මේ වැලියාව ගමේ ජනතාව එකට එකතු වෙලා මේ පන්සල ගොඩනඟාගන්න උත්සාහ ගන්නෙ. ගමේ මුලින්ම පන්සල ඉදිකරද්දි හිටිය දායකයෝ විසිපස් දෙනාගෙන් කවුරුත් අද ජීවතුන් අතර නෑ.


ඒත් මේ කාලේ මිනිසුන්ගේ ආර්ථිකය ගොඩක් පහළට වැටිලා. ආධාර එකතු කරන්න ගියත් සැලකියයුතු මුදලක් එකතු කරගන්න අමාරුයි. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ පින් කැමැති අයට අපිට ආධාර උපකාර හැකි පමණින් හෝ ලබා දෙන්න කියලයි.


විහාරස්ථානයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදහස් දක්වමින් විහාර වර්ධන සමිතියේ ලේකම් සාගර සේමසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකි.


විහාරස්ථානය දියුණු වනවා දැකීම මෙම ගම්මානයේ සියලුම දෙනාගේම පැතුමක්. එම පැතුම වෙත පියනඟන්නට ගමේ මිනිසුන් ඔබෙන් ඉල්ලා සිටින්නේ හැකි පමණින් ආධාරයක් උපකාරයක් පමණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විහාර වර්ධන සමිතියේ භාණ්ඩාගාරික ඩබ්.එම්. වන්නිනායක මහතා කතා කළේය.


පන්සලේ තිබුණු අඩුපාඩු සියල්ලම සම්පූර්ණ කරගන්න අපි විශාල වශයෙන් උත්සාහ ගන්නවා. ඒ අනුව තමා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන මණ්ඩපයක් අපි ඉදිකරන්න හිතුවේ. ඊට අමතරව සංඝමිත්තා තෙරණියගේ ප්‍රතිමාවක් හදන්නත් පටන් අරන් තියෙනවා. නමුත් මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ වෙනුවෙන් උදවු කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක ලොකු පිනක්. ගමේ මේ වෙද්දී එකසිය විසිපහක් විතර විහාරස්ථ දායක සභාවේ ඉන්නවා.


වැලියාව ගම්මානයේ විශ්‍රාමික විදුහල්පතිවරයකු වන ටී.ඒ. සෝමතිලක මහතාද මේ පිළිබඳව අදහස් දැක්විය.
අපේ පන්සලේ තියෙන අඩුපාඩු අතර තවත් දෙයක් තමයි ජල නළ ගැටලුව. මේ වෙද්දි පවතින නියඟයත් එක්ක වතුර ප්‍රශ්නය විශාල වශයෙන් තියෙනවා. පන්සලේ ජල නළ පද්ධතියක් ක්‍රියාත්මක වුණත් ඒක සක්‍රිය මට්ටමක නෑ.


පෝයදාට සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට මූණ කට සෝදා ගන්න පවා සමහර වෙලාවට වතුර නෑ. ඒ විතරක් නෙවේ, විහාරස්ථානයේ වැසිකිළි කැසිකිළි පහසුකම් පවා ඉතාමත් අඩු මට්ටමක තමා තියෙන්නේ. ඒ නිසා බොහෝ වේලාවට පෙහෙවස් සමාදන් වෙන අය ඒවාගෙන් අපහසුතාවට පත් වෙනවා. මෙන්න මේ දේවල් සම්පූර්ණ කරගෙන අපේ පන්සල ගොඩනඟාගන්න තමා අපිට අවශ්‍ය වෙලා තියෙන්නෙ. ඒ වෙනුවෙන් පින්වත් ඔබේ ආධාර උපකාර අපිට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.


විහාරස්ථානයේ දියුණුව වැලියාව ගම්මානයේ සියලු දෙනාගේම අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ගම්වාසීන් සිදු කරනා කාර්යයන්ද බොහෝය. බෝධිපූජා පින්කම්, ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය, ධර්ම දේශනාවන් ආදිය ඒ අතර වෙති.


"මම මේ පන්සලට වැඩම කරලා මේ වෙද්දී අවුරුදු 11ක් වෙනවා. මේ පන්සලට වඩින්න කලින් මම හිටියේ ඇත්දත්ගම ආරණ්‍ය සේනාසනයේ. ගමේ දායකයන්ගේ ඉල්ලීම මත තමා මම මේ පන්සලට වැඩම කළේ. ඉතින් මේ අවුරුදු 11 පුරාවට මේ දායකයන් එක්ක එකතු වෙලා මට හැකි පමණින් මම සේවය ලබා දුන්නා. ඒත් මමත් දැන් වයෝවෘද්ධයි. දායකයෝ එක්ක එකතුවෙලා මේ වැඩකටයුතුවලට ශක්තියක් වෙන්න උදව්වක් දෙන්න මට දැන් හයියක් නෑ."


අවසන් වරට අප සමඟ එක් වෙමින් විහාරස්ථානය පිළිබඳ අදහස් දක්වා සිටියේ වැලිකන්දේ ස්වර්ණ ධර්මාලංකාර හිමියන්ය.


බුදුරදුන් පා පහස ලත් මේ ලක්දිවේ වෙහෙර විහාර, බුද්ධ ප්‍රතිමා අපමණ තිබුණත් තම ගම්මානයට කියා පරිපූර්ණ විහාරස්ථානයක් දැකීම ගම්මුන්ගේ ආශාවය.
එය ආශාවක් පමණක් නොව මෙලොවත් පරලොවත් සුගතිය උදෙසා මිනිසුන්ගේ ප්‍රාර්ථනාවය. ඉතින් ඒ වෙනුවෙන් ඔබටත් යම් උපකාරයක් කළ හැකි නම් 0722024028 අංකය ඔස්සේ විහාර වර්ධන සමිතියේ සභාපති සම්බන්ධ කරගත හැකි අතර මහජන බැංකුවේ මීගලෑව ශාඛාවේ "වැලියාව විමල ධර්මාරාමය" යන නමින් 246200170024907 යන ගිණුම් අංකය යටතේ ඇති ගිණුමට ඔබේ මූල්‍ය පරිත්‍යාගයන් සිදු කළ හැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon