සහන් කුමාර අතුරුදන් වී මාස දෙකයි

  👤  2205 readers have read this article !
Published by : MB WEB 2018-09-19 09:16:28

බළන්ගොඩ -
පියසේන එන්. හේවගේ

බළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේදී සහන් කුමාර අතුරුදන් වී හෙට දිනට (20දා) මාස දෙකක් සපිරේ. මෙම සිද්ධිය පිළිබඳ පොලිසිය කළ විමර්ශන තවමත් නතර වී නැත. එහෙත් කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇත. මෙම තත්ත්වය පිළිබඳ බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක උදය බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ,
සමනලවත්ත විදුහලේ පහ වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටි සහන් කුමාර ධර්මසිරි නමැති දස හැවිරිදි දරුවා ජූලි 20දා සවස අතුරුදන් වූ බවට 21දා පොලිසියට පැමිණිල්ලක් ලැබුණා. පොලිස් පරීක්ෂණ ආරම්භ කළා. පසුදින පොලිස් නිල සුනඛයන් දෙදෙනකුද යොදවා රාත්‍රි 7.00 ට පමණ වනතුරු සෙව්වා. හමුවූයේ නෑ.

පසුව නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ.පී. සේරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි යුද හමුදා නිලධාරීන් 50ක් පමණ එක්ව පොලිසිය සහ ගම්වාසීන් 250ක් සමඟ වර්ග කිලෝමීටර් පහක් සම්පුර්ණයෙන්ම පරීක්ෂා කළා. අතහැර දැමූ මැණික් පතල්, දිය කඩිති, ඇළවල්, ලඳු කැලෑ හා හුනුවල කන්දේ කොටසක්ද පීරමින් දරුවා සෙව්වා. දින තුනකට පසු දිවියකු මරා කා දැමූ ගෝනකුගේ ශරීර කොටස් හමුවුණා. මෙම වනයේ දිවියන්, පිඹුරන් වැනි සතුන් සිටින බවද හෙළි වුණා.

මේ අතරේදී ගොකරැල්ල, අලව්ව ප්‍රදේශවලට මේ දරුවා ගෙන ගිය බවට ලැබුණු තොරතුරු මත දුරකථන කලුනු හා දුරකථන විශ්ලේෂණ උපයෝගි කරගෙන එම කරුණුවල ඇත්ත නැත්ත විමර්ශනය කළා. ප්‍රතිඵලයක් නෑ. අවසානයේ අම්පාර පුරාවිද්‍යා වටිනාකමක් ඇති පන්සලක මේ දරුවා සිටින බවට ලද තොරතුරක් මත එහි ගොස් සොයා බැලූ විට මෙම ළමයාගේ හැඩරුවට සමාන වෙනත් ළමයකු සිටින බව සනාථ වුණා.

මෙම ගම් ප්‍රදේශයට විවිධ අවස්ථාවල ආ ගිය අය ගැනද බලි තොවිල්, මන්තර ගුරුකම් කරන විජනත්කුඹුර ප්‍රදේශයේ කීප දෙනකුද ගෙන්වා තොරතුරු සටහන් කරගෙන ඔවුන්ගේ දුරකථන ඇමැතුම් වාර්තා ලබාගෙන සස¼දා බැලුවා. ඔවුන්ගේ ප්‍රකාශ අනුව ඒවායින් මෙම සිද්ධියට යම් බලපෑමක් ඇති නොවූ බව සනාථ වුණා. මෙම අතුරුදන් දරුවා තරමක් හිතුවක්කාර බව අපගේ විමර්ශනවලදී හෙළි වුණා. කරන ලද විමර්ශන හා විද්‍යාත්මක තොරතුරු අනුවත් සිදුවූයේ කුමක්දැයි සොයාගැනීමට අසීරු වුණා. පොලිස් නිල සුනඛයා මෙම ළමයා ජීවත් වූ නිවෙස වටේ සැරිසැරුවත් වනය තුළට හෝ අෑතට නොයෑම පිළිබඳ කුතුහලයක් මතුවෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට 60කට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කිරීම් කර සටහන් තබාගත්තා. කෙසේ වුවත් මෙම මොහොත වන විටත් සමනලවත්ත ගම් ප්‍රදේශයට අපේ නිලධාරීන් ප්‍රසිද්ධියේ මෙන්ම රහසිගතව යමින් එමින් මේ ගැන තොරතුරු හොයනවා" යැයි සඳහන් කළේය.

අපි සමනලවත්ත විදුහලට ගොස් සහන් කුමාරගේ පන්ති කාමරය ගැන බලද්දී ඔහුගේ මේසය හා පුටුව පන්ති කාමරයේ කෙළවරක තබා තිබුණා. ඔහුගේ කුඩය හා රෙදි තොප්පිය මෙන්ම ඔහු සිතුවම් කළ චිත්‍රයක්ද දැකගන්නට හැකිවුණා. විදුහල්පති එස්.ඩී.ඒ.සුදුවැල්ල මහතා කියා සිටියේ මෙම පන්තියේ සිටි ළමයින් හත්දෙනාගෙන් සහන් කුමාරට පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ලිවීමට නොහැකි වූ බවයි.

අතුරුදන් වූ දිනයේ ඔහු හා අවසන් වරට කතා බහ කළ එම පාසලේ හය වසරේ ඉගෙනුම ලබන බිනුර යොහාන් හමුවීමේ අදහසින් සොයා ගිය අපට ඔහු එදා දිය නාමින් සිටි ‍ෙදාළේදීම දැකගන්නට ලැබිණි. ඔහු කීවේ සහන් ඔහුගේ පියා ගිය දෙසට දර ගෙන ඒමට යන බව කියූ බවයි. අනෙක් දරුවා වූ සංඛ ලක්නාත් කුමාර පාසල නිම වී යන විට අපට හමු විය. ඔහු කියා සිටියේ බිනුරත් මමත් නාමින් සිටින විට සහන් කුමාර සවස 3ට පමණ එම ‍ෙදාළ අසල පාරෙන් යද්දී ඔවුන්ට කතා කළ බවයි.

මෙම දරුවාගේ මව හා පියා පවසන්නේ පුතාට සෙත්පතා කළ සෙත් ශාන්තිවලදීත් දේව කන්නලව්වලදීත් ඔවුන්ට දැනගන්නට ලැබුණේ පුතා මතු දිනෙක දැකගන්නට ලැබෙන බවට විශ්වාසයක් තිබෙන බවයි. මෙම ගමේ ජීවත්වන පැරැණි ගම්මු කියා සිටියේ සුමන සමන් දෙවියන්ගේ අණසක පවතින මෙම සිරිපා අඩවියේ මෙම අහිංසක දරුවාට හානියක් කර සැඟවී සිටීමට කිසිවකුට හැකියාවක් නොමැති බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon