දේවහුව - ගලේවෙල එළවළු ගොවීන් වගාවෙන් ඉවත්වීමේ තීරණයක

  👤  1932 readers have read this article !
Published by : MB WEB 2018-09-21 07:41:37

ගලේවෙල - තිලක් පල්ලේගෙදර

දේවහුව හා ගලේවෙල යන ප්‍රදේශවල වගා කර ඇති එළවළුවල මිල පහළ යෑම නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටින අතර විශේෂයෙන්ම රාබු හා තක්කාලි වැනි එළවළු වර්ග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිලක් නොමැතිවීම හේතුවෙන් ආපසු ගෙන ඒමේ සිද්ධීන්ද වාර්තා වේ. එසේම ඇතැම් ගොවීන් තම එළවළු අස්වැන්න නෙළා නොගෙන අත්හැර දමා ඇත.

මේ පිළිබඳව ප්‍රදේශයේ ගොවීන් කිහිපදෙනකු අදහස් දැක්වූයේ මෙසේය.

ඩබ්ලිව්.වී.ජී. ඉන්ද්‍රරත්න (53) හොම්බාව,
අපි ජීවත්වෙන්නේ එළවළු වගා කරලා. පසුගිය යල කන්නයේ අක්කර භාගයක රාබු වගා කළා. බිරියගේ සහ මගේ ශ්‍රමය හැර රුපියල් ලක්ෂ දෙකක් පමණ ඒ සඳහා වැය වුණා. නියඟය නිසා ජලය ලබා ගත්තේ ළිඳක් හාරලා. නමුත් එහි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව පසුතැවෙනවා. මීට දින කිහිපයකට පෙර රාබු කිලෝ 1,700ක් පමණ ලොරියකින් දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට ගෙනගොස් අලෙවි කර ගැනීමට නොහැකිව ගමේ කඩවල් කිහිපයකට නොමිලේ දුන්නා. ඉතිරි ඒවා ඉවත දැම්මා."

එස්.ඒ. රත්නපාල (53) පට්ටිවෙල -
"මම අක්කර 05ක පමණ තක්කාලි වගා කළා. දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක් මිලට ගන්නේ රුපියල් 10කටයි. මම අවුරුදු 25ක් 30ක් විතර ගොවිතැන් කරනවා. නමුත් හැම වසරකම ගොවියාට මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවෙලා. ඇතැම් ගොවීන් එළවළු වගාවෙන් ඉවත්වෙලා කුලී වැඩ කරනවා.

එළවළු ගොවියාට සාධාරණ මිලක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් නොකළහොත් තව ටික කාලයක් පිටරටින් එළවළු ආනයනය කරන්න සිදු වේවි."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon