රංගනයට ඇවිත් පිට පිට සම්මාන ගත්ත කවුද මේ දිනෙත්

  👤  2299 readers have read this article !
Published by : MB WEB 2018-09-26 07:43:06

පසුගිය කාලේ සිනමාවේ සහ පුංචි තිරයේ නැඟී එන නළුවා ලෙස ඔබ පිට පිට සම්මාන දිනාගත්තා. ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් යද්දී මෙලෙස සම්මාන ලැබෙද්දී ආඩම්බරයෙන් ද ඉන්නේ?

ඇත්තටම නිහතමානී සතුටක් තියෙනවා. මම සම්මානයක් ගන්න දවස ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ මගේ පවුලේ අය. මගේ බිරිය, මගේ මිත්‍රයෝ. ඒ සම්මාන මටත් වඩා සන්තෝසයෙන් වැලඳ ගත්තේ ඔවුන්. ඔවුන්ගේ සතුට දැකලා මටත් සතුටුයි.

ඒ කියන්නේ දිනෙත් සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙන නෙවෙයිද හිටියේ?

මම සම්බන්ධ වුණු පළමු චිත්‍රපටය චත්‍ර වීරමන්ගේ ආලෝකෝ උදපාදි. ඒ වගේම ජැක්සන් ඇන්තනි මහත්මයාගේ සී රජ ටෙලි නාට්‍යයෙන් තමයි පුංචි තිරයේ නැඟී එන නළුවාට හිමි සම්මානය මට ලැබුණේ. මට සම්මාන දෙකක්ම ලැබෙන්න අවස්ථාව උදා වෙන්නේ මම සම්බන්ධ වූ නිර්මාණවල ගුණාත්මකභාවය නිසා. මට ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මානසික පරිසරයක් නිර්මාණය වුණා. එහි ප්‍රතිඵලය ලෙස තමයි මට සම්මාන ලැබෙන්නේ.

මම සම්මාන බලාපොරොත්තු වුණේ නැති වුණත් මම ඒ නිර්මාණවලට කළ කැපකිරීම එක්ක මට සම්මානයක් ලැබිය යුතුයි කියන තැන මගේ ප්‍රේක්ෂකයන්, මගේ පවුලේ අය හිටියා.

නිර්මාණ වෙනුවෙන් කළ කැපකිරීම නේද ඔබ මේ තරම් දුර ගෙනාවේ?

ඔව්. මම මට ලැබුණු නිර්මාණ වෙනුවෙන් උපරිමව කැප වුණා. ඒ නිර්මාණ තිරගත වෙද්දීම ඒ වෙනුවෙන් මට ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර සම්මානයක් ලැබුණ තරමින් මම හදවතින් වින්දා. දැවැන්තයන් පිරිසක් එක්ක එකට හිටගන්න මට පුළුවන් වුණා. ඒ වගේ දේකට සම්මාන ලැබෙද්දීත් ඒක මට වටිනවා.

දිනෙත්ට ලැබුණු නිර්මාණවලින් තමන්ගේ කියන වෙනම රංගන හැඩතලයක් හදාගත්තා නේද?

ආලෝකෝ උදපාදි කියන්නේ රජ කතා වෙනම පැත්තකට පෙරළුව චිත්‍රපටයක්. සී රජ කියන්නේ ලංකාවේ ප්‍රධාන නළු නිළියන් එකතු කරගෙන කරපු දැවැන්ත ටෙලි නිර්මාණයක්. ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබීමම භාග්‍යයක්. ඒ හැම ශිල්පියෙක්ගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබුණා. මට ඒ නිර්මාණවලින් යමක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා.

දිනෙත්ට සිනමාවේ ලකුණක් වෙන්න පුළුවන් වෙයිද?

සිනමාවේ මෙන්න මේ තැනට යනවා කියලා මගේ අදහසක් නැහැ. මම මේ මොහොතේ ලැබෙන දෙයට උපරිම කැපවෙනවා. මම කරන දේ මත ප්‍රේක්ෂකයෝ මාව සිනමාවේ කොතැනට තල්ලු කරයිද දන්නේ නැහැ. කොහොම වුණත් ඒ කාර්යය මම ප්‍රේක්ෂකයන්ට භාර දෙනවා. මම මගේ කාර්යය උපරිමව කරනවා.

දිනෙත්ගේ තෝරා ගැනීම් වැඩිද?

ඔව්. මම නිර්මාණවල තෝරා ගැනීමක් කරනවා. සමාජයට පණිවුඩයක් දිය හැකි ගුණාත්මක දෙයකට තමයි මම දායක වෙන්නේ. මම මගේ ගෙදර අයගෙන්, බිරියගෙන් ඒ වගේම මගේ ක්ෂේත්‍රයේ මිත්‍රයන්ගෙන් උපදෙස් ලබාගෙන තමයි නිර්මාණයකට දායක වෙන්නේ. කතා කළ පළියටම නිර්මාණයකට යන්නේ නෑ.

මට ලැබෙන නිර්මාණය තුළ යමක් කරන්න පුළුවන්ද බලනවා.

ඔබ වෘත්තීයමය රංගන ශිල්පියෙක්ද?

ඔව්. මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්. ඒ වගේම මම වෘත්තීයමය නිරූපණ ශිල්පියෙක්.

කරන තෝරා බේරා ගැනීම් එක්ක දිනෙත්ට තමන්ගේ පැවැත්ම හදාගන්න පුළුවන්ද?

ලංකාවේ සිනමාවට තියෙන තැන එක්ක මේ කරන තෝරා ගැනීම් එක්ක ජීවත් වෙන්න පහසු නැහැ. මම ඇතුළු තවත් රංගන ශිල්පීන් පිරිසක් ඉන්නවා ඒ අමාරුකම් විඳගෙන වැඩ කරන.

පුංචි තිරයේ පේන්න ඉන්න නළුවෝ සිනමාවට සම්බන්ධ කරගන්න අධ්‍යක්ෂවරු කැමැති නෑලු. දිනෙත්ට ඒ අභියෝගයට මුහුණ දෙන්න සිදුවෙලා නැද්ද?

පුංචි තිරයේ අය සිනමාවට සම්බන්ධ කරගනිද්දී විවිධත්වයක් නෑ කියලා සමහරු කියනවා. ඒකේ වැරැද්දක් නෑ.

මට ටෙලි නාට්‍යවලට වඩා සිනමාවේ අවස්ථා ලැබෙනවා. යම් චරිතයකට අපිවම අවශ්‍ය නම් අපිව ඒ නිර්මාණයට තෝරා ගන්නවා. කොහොම වුණත් දක්ෂතාව, කැපවීම තියෙනවා නම් පුංචි තිරය, සිනමාව කියන මාධ්‍ය දෙකම සමබරව කරගෙන යන්න පුළුවන්.

සම්මානනීය වීමත් එක්ක දිනෙත්ගේ වටිනාකම වැඩි වෙලාද?

මම සම්බන්ධ වුණු නිර්මාණත් එක්ක බලද්දී මට දැන් ආරාධනා ලැබෙන්නෙම මට තැනක් දීලා. මට හොඳ නිර්මාණවලට දිගින් දිගටම කතා කරනවා. මම මගේ වටිනාකම ඉල්ලන්නේ නැතිව මට ඉබේටම ඒ වටිනාකම ලැබිලා තියෙනවා.

හොඳ නිර්මාණයක් නම් මම මුදල් පසුපස හඹා යන්නේ නෑ. මට සුදුසු වටිනාකම මට දැන් හැදිලා තියෙනවා. මාව දැන් එක්තරා තැනක තියලා ඉවරයි.

අලුත් වැඩවලදිත් ඔබට වෙනස් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවාද?

ඔව්. හිතුමතේ ජීවිතේ සහ ටචජඥ බධ ටචජඥ කියන චිත්‍රපට දෙකම තිරගත වෙන්න තියෙනවා. මෙතෙක් මාව දැකලා තියෙන්නේ රජ කතාවලින්. මට පෙම්වතා, වීරයා වගේම විවිධ හැඩතලවල චරිතවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. තවත් චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

දිනෙත් දැන් සැමියෙක්. බිරිය දිනෙත්ගේ රංගන කටයුතුවලට සහාය දෙනවාද?

අනිවාර්යයෙන්ම. අරෝෂා යසාංජලි සිතාරි පතිරණ තමයි මගේ බිරිය. මට මගේ ජීවිතයේ අම්මා, තාත්තා ගොඩක් උදවු කළා. දැන් මගේ බිරියත් මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඇය මාව දිරිගන්වනවා. චිත්‍රපටවලට තොරතුරු හොයන්න වුණත් මම ඇයට භාර දීලා තියෙනවා. මගේ කෑම බීම, ඇඟ හදන හැමදේටම ඇය උදවු කරනවා. දැන් මට ඇගේ සහාය නිසා හැමදේම පහසු වෙලා තියෙනවා.

බිරියත් කලාවට ළැදියි වගේ?

ඔව්. ඇය කලාවට ගොඩක් ළැදියි.

ඇය රැකියාවක නිරත වෙනවාද?

නැහැ. ඇය ගෘහණියක්. නමුත් ඉදිරියේදී ඇය ව්‍යාපාර කටයුතු පැත්තට යොමු වෙන්න අදහසක ඉන්නවා.

මොනවාද ඉදිරි සැලසුම්

මම නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් වැඩ කළා. ඉතින් ඉදිරියේදී නිරූපණ පාසලක් පටන් ගන්න අදහසක් තියෙනවා. මම බිහිකළ ගොඩක් අය ක්ෂේත්‍රයේ ඉන්නවා. ඔවුන්ගේ ඉල්ලීම මත තමයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායරූප - මංජුල පෙරේරා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon