යටියන්තොට කැඩුණු බෝක්කුවෙන් ගමනාගමනයට බාධා

  👤  1870 readers have read this article !
Published by : MB WEB 2018-09-26 07:23:59

කිතුල්ගල - තරින්ද රත්නායක

වර්ෂයකට පෙර කඩා වැටී ඇති හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට නගරයේ බෝක්කුව තවම අලුත්වැඩියාවක් කර නොමැති බැවින් මාර්ගයේ ගමන් කරන්නන් දැඩි අපහසුතාවට පත්වී ඇති බව ඔවුහු පවසති.

මේ හේතුවෙන් මෙම ස්ථානයේ මාර්ගයේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා වී ඇති අතර සමහර අවස්ථාවල මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී. විශේෂයෙන් සතිපොළ පැවැත්වෙන දින, සති අග නිවාඩු දිනවල හා උත්සව දිනවල රථ වාහන හැසිරවීමේදී පොලිස් රථවාහන අංශයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන බව එම නිලධාරීන් පෙන්වා දෙන අතර සීතාවකපුර පොලිස් මාර්ග ආරක්ෂක කමිටු රැස්වීමේදීද මේ පිළිබඳ දැනුවත් කර ඇත.

අනතුරට පත්ව ගිලා බැස ඇති කොටස හාරා ඇති බැවින් මාර්ගයේ සෑහෙන දුරක් එක් පැත්තක් වසා අවදානම් කලාපයක් ලෙසද නම් කර ඇත. ඒ හේතුවෙන් ඒ අසල ඇති කඩ සාප්පුවලට පාරිභෝගිකයන්ට ළඟා වීමට නොහැකි වී ඇති අතර යාබද ත්‍රිරෝද රථ ගාලද ඉවත් කරගෙන ඇත.

ගිලා බැස ඇති පාලම ඒ අවස්ථාවේම අලුත්වැඩියා කටයුතු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළත් පසුව එම කටයුතු නවත්වා ඇති බව නගර වැසියෝ කියති.
අලුත්වැඩියා සඳහා රැගෙන විත් තිබූ සිලින්ඩර් පවා අද දැන්වීම් ඇලවීමට භාවිත කර ඇති අයුරු දක්නට ලැබේ.

පාලමේ කටයුතු පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ රුවන්වැල්ල විධායක ඉන්ජිනේරු කාර්යාලයේ විධායක ඉන්ජිනේරු රසික මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා පැවැසුවේ,
"මෙම පාලමේ අලුත්වැඩියා කටයුතු සැලසුම් කළත් එසේ කිරීමට නොහැකි තත්ත්වයක තිබූ නිසා සම්පූර්ණ බෝක්කුවම ඉදිකිරීම සඳහා කටයුතු කරනවා. ලොකු ව්‍යාපෘති අපි ප්‍රධාන ඉන්ජිනේරු කාර්යාලය හරහායි කරන්නේ. ඒ නිසා ඒ යටතේ මෙය වෙනවා."

මාර්ග සංවර්ධන අධිකාරියේ කෑගල්ල ප්‍රධාන විධායක ඉන්ජිනේරු කාර්යාලයේ ඉන්ජිනේරු රන්දික සේනාරත්න මහතාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා පැවැසුවේ "ටෙන්ඩර් කිරීමේ ප්‍රමාදයක් තිබුණත් දැන් කොන්ත්‍රාත්තුව පිරිනමලයි තියෙන්නේ. පටන් ගැනීමේ පොඩි ප්‍රමාදයක් තිබුණා. ඒත් මේ සතියේ වැඩ ආරම්භ කරන බව කොන්ත්‍රාත්කරු පැවැසුවා."

අධිවේගී මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම් දිස්ත්‍රික් කළමනාකරු හා හිටපු පළාත් සභා මන්ත්‍රි වසන්ත බණ්ඩාර දේවගෙදර මහතා,
"කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් පෙරේරා මහතාගේ ආරාධනයෙන් නගර සංවර්ධනයත්, පාලම් අලුත්වැඩියාවත් සොයා බැලීමට කබීර් හෂීම් අමාත්‍යවරයා පසුගියදා යටියන්තොට නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.

එහිදී අමාත්‍යවරයා පාලමේ ඉදිකිරීම් කඩිනම් කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළත් අධික වර්ෂාව නිසා ප්‍රමාද වුණා. රුපියල් මිලියන 22ක පමණ මුදලක් වැයකර ඉදිරිකිරීමට නියමිත මේ පාලමේ වැඩ කඩිනමින් සිදුවෙනවා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon