කුමාර තිරිමාදුරගේ ජීවිතේ පොතකට

  👤  2025 readers have read this article !
Published by : MB WEB 2018-10-02 08:12:16

ඔබ මෙදා සැරේ මොකක්ද මේ කළේ?

මම මගේ ජීවිතේ මොනවා හරි අලුත් අලුත් දේවල් කරනවා. ඉතින් මෙදා සැරේ කරන්නේ පොතක් එළිදක්වන එක. ඒ 'මගේ ජීවිතේ ' කෘතිය. 25 වැනිදා ලුම්බිණි රඟහලේදී 'මගේ ජීවිතේ' එළි දැක්වූවා.

මේ කෘතිය ලියන පසුබිම හැදුණේ කොහොමද කියලාත් කියමු?

ඒකට හේතු වුණේ පුවත්පත් කලාවේදියෝ දෙන්නෙක්. ලක්‍ෂ්මන් පියසේන 'බල්ලොත් එක්ක බෑ' වේදිකා නාට්‍ය බලන්න ඇවිත් මට කිව්වා කොලම් එකක් ලියන්න කියලා. 2005න් පස්සේ මම එක අකුරක් පත්තරයකට ලියලා තිබ්බේ නෑ. මගේ ජීවිතේ අත්දැකපු දේවල් මට ලියන්න ඕන. මම අතිශය දුෂ්කර ජීවිතයක් ගත කළ කෙනෙක්. මම භීෂණ කාලේ ඔරුගොඩවත්තේ තේ කඩයකත් වැඩ කළා. මේ ජීවිතේ අත්විඳපු දේවල් කොලම් හත, අටකට ලිව්වත් මගේ කාර්යබහුලත්වය එක්ක ඒක ලියන එක මඟහැරුණා. ඊට පස්සේ භාතිය ගුණසේන මගේ පස්සෙන් ඇවිත් කිව්වා ඒ ලිපි පෙළ ලියන්න කියලා. මම බැහැයි කිව්වත් ඔහු මගේ පස්සෙන්ම ඇවිත් ඒක ලියව ගත්තා. මම කිව්වා මම ලියන එක වචනයක්වත් කපන්න එපා කියලා. ලංකා පත්තරෙන් ඒ කොලම් එක එක වචනයක්වත් නොකපා පළ කළා. ඒ ලිපි පෙළ තමයි මේ පොතක් විදියට එළියට එන්නේ.

ඔබේ කෘතියක් එළි දක්වද්දි ලේඛන කලාවට පාර කපපු භූමිකාව මතක් නොකරන්න බෑ නේද?

ඔව්. මම 1991 ජනවාරි 01 වැනිදා දිවයින පුවත්පතේ සෝදුපත් කියවන්නෙක් ලෙස එකතු වුණා. සෝදුපත් කියවන්නෙක් විදියට මට කැමැති අකැමැති සියලු දේවල් කියවන්න ලැබුණා. මම මහලේඛන කලාවට ආවා නම් ඒකට මුල හැදුවේ ඒ වෘත්තිය. මම කියවීම අවුරුදු පහළොවක් තිස්සේ වෘත්තිය විදියට කළා. ඒ හරහා මම මහා දැනුම් සම්භාරයක් ලබා ගත්තා. ඒ කාලේ මට කර්තෘ මණ්ඩලයටත් එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් මම ඒ කාලෙත් රඟපාපු නිසා මෙරිල් පෙරේරා ප්‍රධාන කර්තෘතුමා කිව්වා එතෙන්ට ආවොත් මම හිරවෙයි කියලා. ඒ වචනය අහලා මම කර්තෘ මණ්ඩලයට එකතු වුණේ නෑ. හැබැයි මම කරළියේ රස කතා කියලා ලිපි පෙළක් ලිව්වා.

ඒත් ඔබ ඒ වෘත්තියෙන් එළියට එනවා

මම 2005දී දිවයින පුවත්පතෙන් ඉවත් වුණා. ඒ අධික කාර්යබහුලත්වය නිසා. මම පුවත්පතේ ඉන්න ගමන් කලා කටයුතු කරන්න අවසර ඉල්ලුවා. නමුත් ඒක කරන්න අපහසු වුණා. එක්කෝ රස්සාවද නැත්නම් කලාවද කියලා මට තීරණය කරන්න වුණා. මම මගේ බිරියගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. බිරිය කිව්වා රස්සාව අතහැරලා කලාව කරන්න කියලා. ඇය දුන්න සහයෝගය එක්ක මම ආපු ගමන තමයි මම මහ නළුවෙක් වෙන තරම් දුර ආවේ.

අවුරුදු පහළොවක් කරපු රස්සාවෙන් එළියට බහින්න චකිතයක් තිබ්බේ නැද්ද?

මම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදිලා එළියට ආවේ අඬ අඬා. මම ඒ රැකියාවෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. බොහෝ මිනිසුන් හඳුනා ගත්තා.

රැකියාවෙන් එළියට බැස්සා කියලා ඔබට වැරැදුණේ නෑ නේද?

ඔව්. මම ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, සිනමා නළුවෙක් වුණා. තණ්හා රතී රඟා පිටපත ලියලා සම්මානයකට පවා පාත්‍ර වුණා. මම නළුවෙක්, ගායකයෙක් වෙලා, බොහෝ දේ කළා. ලෝකෙ වටේ ගියා.

මොනවද අනෙක් වැඩ කටයුතු කියලත් කියමු?

නිව්ස්පේපර් කියලා අලුත් චිත්‍රපටයක් කළා. එහි රූගත කිරීම් කරලා ඉවරයි. වැරැදි නිව්ස් එකක් නිවැරැදි නොකිරීම නිසා පවුලක් අසරණ වෙනවා. ඒ කතාව තමයි මේ චිත්‍රපටයට ගේන්නේ. මමයි සරත් කොතලාවලයි තමයි පිටපත ලිව්වේ. අපි දෙන්නම තමයි මෙය අධ්‍යක්‍ෂණය කළේ. අපි දෙන්නම මෙහි රඟපානවා. දෙන්නෙක් චිත්‍රපටය ලියලා ඒ දෙන්නම අධ්‍යක්‍ෂණය කරලා ඒ දෙන්නම රංගනයටත් එකතු වෙන පළමු අවස්ථාව මේක වෙන්න ඇති.

සරත් සහ ඔබේ මුහුවීම නිර්මාණකරණයේදි විශේෂයි නේද?

ඔව්, මම කලා ලෝකයේ බොහෝ අය ඇසුරු කළා. ඔය අතරේ මට සරත්වත් මුණ ගැහුණා. සරත් අමුම අමු ගැමියා. මම අමු කොන්ක්‍රීට් වනාන්තරේ ජීවත් වුණේ. අපි එක්කාසුවීම දෛවයේ හාස්කමක් වගේ. අපි එකතු වෙලා මිනිස්සුන්ට දැනෙන නිර්මාණ කරනවා. ඒක වටිනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon