'රාවණා සීතාභිලාෂය' අලුත් ඇසකින් බලන්නට

  👤  1650 readers have read this article !
Published by : MB WEB 2018-10-03 09:38:01

ඔබ අලුත් නාට්‍ය නිර්මාණයක් කරනවා.එහි පසුබිම ගැන මුලින්ම කියමු?

මහාචාර්ය ජේ.බී. දිසානායක සහ මම එකතු වෙලා මේ නාට්‍යයේ පිටපත නිර්මාණය කළා. ජේ.බී. මගේ හොඳ මිත්‍රයෙක්. අපි දෙන්නගෙම ප්‍රයත්නයක් හැටියටයි මේ නාට්‍ය නිර්මාණය වුණේ.

ජේ.බී. දිසානායක නාට්‍ය පිටපත දීලා මගෙන් ඇහුවා මේ නාට්‍ය නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. එතුමගේ 'රාවණා' කියෙව්වට පස්සේ මට හිතුණා එයට තව ගැඹුරක් එක්විය යුතුයි කියලා. පසුව මම එතුමට එය කීවම "එහෙනම් නාමෙල් පිටපත ලියන්න" කිව්වා. මම නාට්‍යයේ කොටසක් අරගෙන පිටපතේ කොටසක් ලිව්වා. 'සීතාභිලාෂය' කියලා. මෙයට එතුමාගේ විරුද්ධත්වයක් තිබුණේ නැහැ. අවසානයේදී මම ලියූ කොටස සහ එතුමා ලියූ කොටස එකතු කරලා 'රාවණා සීතාභිලාෂය' කියලා නාට්‍ය නිර්මාණය කළා.

නාට්‍ය වේදිකාගත කෙරෙන්නේ කවද්ද?

රාවණා සීතාභිලාෂය ඔක්තෝබර් 04, 05, 06 යන දිනයන්හි නාමෙල් මාලනි පුංචි තියටර්හි වේදිකාගත කෙරෙනවා. ඔක්තෝබර් 04දා ප.ව. 3.30 සහ ප.ව 7.00ටත් ඔක්තෝබර් 5දා ප.ව 7.00ටත් ඔක්තෝබර් 6දා ප.ව 3.30ට සහ 7.00ටත් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

මේ නාට්‍ය නිර්මාණයට දායක වෙන ශිල්පීන් කවුද?

රජිත හේවාතන්ත්‍රිගේ සුරංගි කෝසලා, චමින්ද මිරිහාගල්ල, තිහාරි සෝමසිරි, නිලක්‍ෂි හැලපිටිය, කසුනි රණසිංහ, සමන් ලියනාරච්චි, අකිල පලීපාන, ගුවනි, උවින්ද්‍යා, සුගත් මෛත්‍රි, මහේෂ් රාජගුරු, අමිත් ප්‍රසාද්, නිශාන්ත අජිත් කුමාර, දර්ෂණ පෙරේරා රංගනයටත් මංජුල හොරවිල, දසුන් නිරංග, තරංග දිල්ෂාන්, රවිඳු සඳරුවන්, අකලංක වෙලගෙදර, දෙව්මිණි ‍ෙදාඩංගොඩ, චාමිනි ශ්‍යාමලි, කෞෂි කේශලා, තරුෂි ශෂිනි, ගායනා කණ්ඩායමටත් එකතු වෙනවා. මේ නාට්‍යයේ නැටුම් අධ්‍යක්‍ෂණය කරන්නේ අකිල පලීපාන.

සංගීත අධ්‍යක්‍ෂණය කරන්නේ ජයන්ත අරවින්ද හා ලයනල් ගුණතිලක. ඇඳුම් නිර්මාණය ජගත් කොස්මෝදර හා මාලිනි වීරමුණි. මෙය නිෂ්පාදනය කරන්නේ මාලිනි වීරමුණි.

මේ නාට්‍යයෙන් අලුත් අදහසක් සමාජගත කරන්න උත්සාහ කළා නේද?

ඔව්. මෙහි අලුත් අදහසක් ගැබ් වී තිබෙනවා. කවුරුත් හිතපු නැති අලුත් දෘෂ්ටි කෝණයකින් බලන නිර්මාණයක් මෙය. ඒ නිසා නාට්‍යයේ වාල්මිකි නොදුටු ඇසින් කියලා ටැග් එකකුත් නිර්මාණය කළා.

නාට්‍යයෙන් මොන වගේ පණිවුඩයක්ද සමාජගත කරන්න උත්සාහ කළේ?

මවකගේ ආදරයට කරන්න බැරි දෙයක් නෑ. මවගේ ආදරය තරම් ආදරයක් ලොව කොහෙවත් නෑ. නාට්‍ය තුළ මවක් දරුවන්ට දක්වන ප්‍රේමය ප්‍රමුඛ ලෙස නිරූපණය කර තිබෙනවා. ආලය සහ ප්‍රේමය අතර වෙනසක් තියෙනවා. ප්‍රේමය සදාකාලිකයි. අද සමාජයේ බහුතරයක් ආලය සහ ප්‍රේමය අතර වෙනස නිසි ලෙස වටහා ගෙන නැහැ. මේ නාට්‍යයෙන් මනුෂ්‍යත්වය ගැන කතා කරනවා. සාමයෙන් ජීවත් වෙන්න කියන පණිවුඩයත් ලබා දෙනවා.

අලුත් වැඩක් නිසා නාට්‍ය සාර්ථක වෙයිද?

කොතරම් දුරට මේ නාට්‍ය සාර්ථක හෝ අසාර්ථක වෙයිද කියලා දන්නේ නෑ.

ප්‍රේක්‍ෂකයන් වේදිකා නාට්‍යවලින් අෑත් වෙලාද?

අද බිහිවන නිර්මාණවලින් සියයට පහක් පමණ හොඳ නිර්මාණ තියෙන්නේ. නාට්‍යයකින් කරන්නේ මිනිස්සුන්ව හිනස්සන එක පමණක් නෙවෙයි. ඒ තුළ යම්කිසි දර්ශනයක් අඩංගු විය යුතුයි. මිනිසුන් කලාව සමඟ සම්බන්ධ වීමට නම් රටේ ආර්ථිකයත් ශක්තිමත් වීම අවශ්‍යයි. බොහෝ දියුණු සමාජවල කලාව දියුණු වී තිබෙන්නේ රටේ ආර්ථිකයත් සරු කාල සීමාවල.

නාට්‍ය කරලා ලාභ ලබන්න පුළුවන්ද?

මට මේ නාට්‍ය කරන්න අවම වශයෙන් මිලියන දෙකකට තුනකට ආසන්න ප්‍රමාණයක් වැයවුණා. මේ නිර්මාණවලින් කවදාවත් ලාභ ගන්න බැහැ. නාමෙල් මාලිනි පුංචි තියටර් එක වුණත් කරන්නේ මමයි මාලිනියි අතින් මුදල් දාලා. නිර්මාණවලින් මම ලොකු තෘප්තියක් ලබනවා. මුදල්වලට පමණක් සීමා වීම අවශ්‍ය නැහැ. යම්කිසි දෙයක් ප්‍රේක්‍ෂක සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා.

අද කලාව ගැන විවිධ අයට විවිධ මත තිබෙනවා. කලාවේ වර්තමාන හැරවුම ගැන ඔබටත් අදහසක් ඇති?

අද අපේ සමාජය හඹා යන්නේ මුදල් පසුපස. ඒ නිසා කලාවත් වාණිජ වෙලා. බොහෝ දෙනා මුදල් සහ ප්‍රසිද්ධිය තකා නිර්මාණවලට සම්බන්ධ වෙනවා. නමුත් මේ නිර්මාණ තුළින් ප්‍රේක්‍ෂකයා තුළ යම්කිසි ශික්‍ෂණයක් ඇතිවෙනවාද කියන ගැටලුව තියෙනවා. නිර්මාණවලින් 99%ක්ම දුර්වලයි. හොඳ නිර්මාණ බිහිවන්නේ කලාතුරකින්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු පුද්ගලයන් සිටින සමාජයක් ගොඩනැඟීම උදෙසා කලාව ඉතාම අවශ්‍යයි. කලා නිර්මාණයකින් මිනිසුන්ට යමක් සිතන්න ඉඩදිය යුතුයි. දුර්වල නිර්මාණවලින් ප්‍රේක්‍ෂකයන්ගේ රසඥතාව මොට වෙනවා. කලාවෙන් තමයි ශික්‍ෂණයක් තියෙන මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන්.

ඉරේෂා කල්හාරි සේනාධීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon