රංගන ශිල්පියෙක් ලැජ්ජාව විළිලැජ්ජාව දෙකම නැති කර ගත යුතුයි

  👤  2380 readers have read this article !
Published by : MB WEB 2018-10-11 09:31:47

චරිත් අබේසිංහ මොකක්ද මේ කියන කතාව

චරිත් අධ්‍යක්ෂණ භූමිකාවෙන් ආයෙත් ප්‍රේක්ෂකයෝ අතරට ඇවිත්?

ඔව්, ඒ මිනිගංදෑල නාට්‍යයෙන්. අපි මේ නාට්‍ය කරන්න පටන් ගත්තේ මීට අවුරුදු එකහමාරකට විතර කලින්. ගිය වසරේ වගේම මේ වසරෙත් එහි රූගත කිරීම් කරගෙන යනවා. මේක මෙගා නාට්‍ය තරම් කලබලයෙන් කරන්නේ නැති නිසා කාලය අරගෙන හොඳට වැඩේ කරනවා.

වෙහෙස වෙලා කරන්න පුළුවන්, වෙන හැඩයක නිර්මාණ තමයි චරිත් අධ්‍යක්ෂණයට තෝරාගන්නේ. ඒකට විශේෂ හේතුවක් තිබෙනවද..?

වෘත්තීමය වශයෙන් තෘප්තියක් ලබන්න පුළුවන් දේවල් තමයි මම කරන්නේ. මුදල්ම බලාගෙන කරනවට වඩා තෘප්තියකින් කරන්න පුළුවන් දේවල් මම තෝර ගන්නෙ. ඊට අවශ්‍ය පිටපතක් මට ලැබුණා. ඒකත් වාසනාවක්. මම තෝරාගත්ත පළියට වෙනස් නාට්‍ය කරන්න බෑ. තරංග අතුරලිය වගේ නිෂ්පාදකවරයෙක් මට ලැබුණා. ඔහු මට මේ වගේ භාරධුර වැඩක් කරන්න ලොකු සහයෝගයක් දුන්නා.

නාට්‍ය ප්‍රේක්ෂකයෝ වැලඳගෙන තිබෙන ප්‍රමාණය ගැන සතුටුද..?

ඔව්, ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රැල්ලට යන ප්‍රේක්ෂකයෝ නෙවෙයි මේ නාට්‍ය බලන්නේ. බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් මේ නාට්‍යයට එකතු වෙලා ඉන්නවා. ලෝකය පුරා ඉන්න රසික පිරිසක් අන්තර්ජාලය හරහා මේ නාට්‍යයට ප්‍රතිචාර දක්වනවා. අපේ නාට්‍යයේ ගීත ගායනය කරන සමන් ලෙනින් ඇමෙරිකාවේ ගිය අවස්ථාවක එහි ෂෝ කිහිපයක මිනිගංදෑලේ තේමා ගීතය ගායනා කරන්න වුණාලු. ඒ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් නාට්‍යයට තියෙනවා. සාමාන්‍යයෙන් සතියකට විකාශය වන නාට්‍යයේ කොටස් තුන හතරක්ම ට්‍රෙන්ඩින් එනවා. ඒ තරම් ප්‍රේක්ෂක මට්ටමක් නාට්‍යයට ඉන්නවා. දිනපතා විකාශය වන නාට්‍යවලින් වැඩිම ගෙවීමක් ලැබෙන නාට්‍ය බවටත් අපේ නාට්‍ය පත්වෙලා තියෙනවා.

මිනිගංදෑලේ ඉන්න සමහර රංගන ශිල්පීන්, ශිල්පිනියන්ගේ චරිත කොටස් කිහිපයකට සීමා වෙනවා. ආදරය දිනාගත්ත සමහර චරිතවලට එහෙම කරන්නේ පිටපත ඉල්ලා සිටින නිසාමද..?

සමහරු නාට්‍යයේ චරිත වෙනස් වෙනවට කැමැති නැහැ. ආදරය කරන සමහර චරිත කොටස් තුන හතරෙන් නැති වෙනවා. සමහර නාට්‍යවල අධ්‍යක්ෂවරු එක්ක ප්‍රශ්න ඇතිවුණාමනේ චරිත අයින් වෙන්නේ. හැබැයි මිනිගංදෑල ටෙලි නාට්‍යයේ තියෙන විදියට තමයි චරිත ඉවත් වෙන්නේ. මිනිගංදෑල අවසානයේ එයට සහභාගි වුණු ශිල්පීන් තාක්ෂණික ශිල්පීන් එකතු වෙලා ඒ ඇත්ත පෙන්වනවා. ගොඩක් අය කැමැති සුන්දරත්වයට. දුක හිතෙන, වෙන්වෙන දේවල්වලට ප්‍රේක්ෂකයෝ කැමැති නැහැ. අපේ ජීවිතවල වුණත් හරිගිය වැරදුණු කාල වගේම සුන්දර අසුන්දර කාල තියෙනවානේ.

ප්‍රේක්ෂකයෝ සුන්දර දේවල් බලන්න ආස වුණාට මේක ඒ ආකෘතියෙම නාට්‍යයක් නෙවෙයි. සමාජ, දේශපාලන විපර්යාස පෙන්වමින් කාල තරණයක් පෙන්වමින් චරිත වෙනස් වෙමින් මේ නාට්‍යය ඉදිරියට යන්නේ.

ඔබ ගැමුණු මහරජ නාට්‍යයේ වගේම මේ නාට්‍යයේ පිටපත් රචනයට තෝරාගෙන තියෙන්නේ ප්‍රියාල්ව. ඔබ සහ ප්‍රියාල් කියන්නේ හොඳ මුහුවීමක්ද?

ගැමුණු මහරජ නාට්‍ය මම අධ්‍යක්ෂණය කළාට ගැමුණු මහරජ 2 කළේ වෙනත් අධ්‍යක්ෂවරයෙක් සහ රචකයෙක්. අපි ඒ ගැන ඇවිටිලි කළාට ඒක ප්‍රයෝජනයක් නැති නිසා අපි ඒක අතහැරලා දාලා වෙනත් දෙයක් කරන්න හිතුවා. ඊට පස්සේ යෝජනා වුණු නාට්‍ය තමයි මිනිගංදෑල. ඒ ගත්ත තීරණය හරි. ප්‍රියාල්ට අද තැනක් ලැබිලා තියෙනවා.

ඔහුත් සමඟ ගොඩක් අධ්‍යක්ෂවරු වැඩ කරන්න කැමැතියි. මාත් එක්කත් ගොඩක් රචකයෝ වැඩ කරන්න කැමැතියි.

චරිත්ගේ රංගන භූමිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ..?

මම පසුගිය කාලේ රඟපෑ චරිත සම්මාන කිහිපයකටම නිර්දේශ වුණා. සිග්නිස් සම්මාන උළෙලේ හොඳම නළුවාටත් සුමති සම්මාන උළෙලේදී නැඟී එන නළුවාටත් රයිගම් සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවාටත් මගේ නම නිර්දේශ වුණා. මට අවස්ථාව ලැබුණොත් හොඳ නිර්මාණවලට දායක වෙනවා. ලැබෙන චරිතයක් එක්ක ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම එය භාරගන්නවා.

පුංචි තිරයේ වැඩවලදී චරිත තෝරා ගැනීමක් කරනවා වගේ?

ඔව්, ඒ තෝරා ගැනීම් මාව සාර්ථක කළා කියලා හිතෙනවා. මොකද සම්මානයක් නොලැබුණත් සම්මානයකට නිර්දේශවීමත් වැදගත්. මම මෙගා නාට්‍යවල අද වෙනකල් රඟපාලා නෑ.

මෙගා නාට්‍යවල රඟපාන්නේ නැත්තේ ඇයි..?

හැමදාම පේන්න ඉඳලා මාව එපා කරවා ගන්න මම කැමැති නැහැ. හැමදාම දකින කුකුළගේ කරමලේ සුදුවට පේනවා කියනවානේ. ඉතිං මම තියෙන අගය නැති කරගන්න කැමැති නැහැ. මම නිරූපන ශිල්පියෙක් ලෙස දැන්වීම්වලටත් පෙනී සිටිනවා. නිතර පේන්න ඉන්න එක ඒ කටයුතුවලටත් බාධාවක් වෙන නිසා තමයි හොඳ වැඩ කිහිපයක් තෝරාගෙන ඒවට සම්බන්ධ වෙන්නේ.

චරිත් දැන් අධ්‍යක්ෂවරයෙක් නිසා වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ වැඩවලට ආරාධනා ලැබෙනවද..?

හො½ද අධ්‍යක්ෂවරයෙක් වුණාම ඔහුව අනෙක් නිර්මාණවලට ගන්නවා අඩුයි. මොකද මාව දාගත්තොත් ඔවුන්ගේ වැඩවලට මම බලපෑමක් කරයි කියලා ඔවුන් හිතනවා. නමුත් මම වෙනත් අධ්‍යක්ෂවරයෙක් කරන වැඩවලට අතදාන්න යන්නේ නෑ. මාත් එක්ක වැඩ කළ අධ්‍යක්ෂවරු ඒක දන්නවා. මොකද අධ්‍යක්ෂවරයෙක්ගේ වැඩවලට වෙන කෙනෙක් එබෙන එකේ කරදරය මම දන්නවා.

සිනමා නිර්මාණ කරද්දිත් ඒ වගේම තෝරා ගැනීම් තියෙනවද..?

නැහැ, මම චිත්‍රපටවල චරිත තෝරාගන්නේ නැහැ. මොකද චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නේ සුලබව. මාව යම් චරිතයකට අවශ්‍ය වුණොත් මම ඒ චරිතයට දායක වෙනවා.

සිනමා නිර්මාණයක ඕනම චරිතයක් වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරනවාද..?

රංගන ශිල්පියෙක් වුණාම ලැජ්ජාව සහ විළිලැජ්ජාව කියන දෙකම නැතිකර ගත යුතුයි. වෙනත් රටවල රංගන ශිල්පීන් ඒ ඉගැන්වීම නිර්මාණවලට අවශ්‍ය විදියට පාවිච්චි කරනවා. අපිට ඕන දෙයක් කරන අභියෝගය ලැබුණොත් ඒක භාරගන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ රංගන ශිල්පියා. මම ඕනම චැලේන්ජ් එකක් භාරගන්නවා.

රංගන ශිල්පියෙක් විදියට චරිත්ට යම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ගොඩනැඟිලා තියෙනවානේ. ඉස්සර චරිත්ට තිබ්බ ආකර්ෂණය තාමත් තියෙනවාද...?

අපි කරන චරිතත් එක්ක තමයි ප්‍රේක්ෂක ආකර්ෂණය ගොඩනැඟෙන්නේ. ආකර්ෂණය කාලෙන් කාලෙට මාරු වෙනවා. ජනප්‍රියත්වය මම හඹායන්නේ නෑ. මගේ ජීවිතේ වෙන ඉලක්ක තියෙනවා.


මොනවද ඒ ඉලක්ක..?

නිර්මාණ කියන්නේ අන්තර්ජාතික භාණ්ඩයක්. ලංකාවේ ටෙලිනාට්‍යවලට සිනමාවට කොටු නොවී ඊට එහා ගිය දෙයක් කරන්න මම උත්සාහ කරනවා.

චරිත් වැඩි බර දෙන්නේ රංගනයටද..? අධ්‍යක්ෂණයටද..?

මම රංගනයයි අධ්‍යක්ෂණයයි දෙකම කරාවි. වාණිජ සිනමාවේ මම නළුවෙක් වෙයි. කලාත්මක සිනමාවේ මම අධ්‍යක්ෂවරයෙක් වෙයි.

බිරියගෙන් ඔබේ වැඩ කටයුතුවලට සහායක් ලැබෙනවාද..?

ඔව්, මගේ බිරිය හංසි සිතාරි. ඇය මගේ සෙවණැල්ල වගේ ඉන්නවා. මාව ඇසුරු කරන අය දන්නවා ඇය කොයිතරම් මට සම්බන්ධ වෙලාද කියලා. ඇය මට පුදුම සහායක් දෙනවා.

ඔබ වගකීම් සහගත සැමියෙක්ද..?

සැමියෙක් විදියට මගෙන් වගකීම් ඉෂ්ට වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මගෙන් අඩුපාඩු වෙන අවස්ථා තියෙනවා.

ඒ අඩුපාඩු නිසා දෙන්නා ගැටෙන්නේ නැද්ද..?

ඕන තරම් ගැටෙනවා. හැබැයි සැමියා සහ බිරිය අතර තියෙන රණ්ඩු බත් හැළිය ඉදෙනකල් විතරයි කියනවනේ.

ඔබ අධ්‍යක්ෂණය කරන නිර්මාණයක බිරිය රංගන ශිල්පිනියක් කරයිද..?

ඇය මගේ බිරිය නිසා ඇයට හොඳ චරිතයක් දෙන්න ඕන. එයාට දෙන්න පුළුවන් චරිතයක් තාම නැහැ. නොගැළපෙන චරිතයක් දීලා එයා ඒක හරියට කළේ නැත්තම් ඒක වැඩක් නැහැ. ඒ නිසා එයාට ගැළපෙන දෙයක එයා රංගන ශිල්පිනියක් වෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon