හම්බන්තොට යෝජිත අලි රක්ෂිතයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අවසර දුන්නේ කවුද

  👤  1754 readers have read this article !
Published by : MB WEB 2018-10-11 09:33:56

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් හම්බන්තොට මත්තල මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ ඇති කැටන්වැව කුරුදාන අලිමංකඩ පිහිටි මහවැලි සංවර්ධන අධිකාරියට අයත් රක්ෂිත භූමිය තුළ නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කර තිබෙන නිවාස ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දී නැති බවත්, එය අනවසරයෙන් කළ එළි කිරීමක් බවත් තොරතුරු පනත ඔස්සේ මහවැලි අධිකාරියෙන් ලබාගත් තොරතුරු මඟින් සනාථ වේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ නිවාස සංවර්ධන අධිකාරිය මඟින් වන අතර ඔවුන්ට අවශ්‍ය නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් අවශ්‍ය ඉඩම් ලබා ගැනීම වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය මඟින් සියලු නීති රීති නොසලකා හරිමින් පරිසර විනාශයක් ද කරමින් මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා අදාළ අලිමංකඩ සහිත රක්ෂිතය මේ ආකාරයෙන් එළි කර නිවාස ලාභීන් හට ඉඩම් වෙන්කරදීමක් ද කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ ගවේෂණයේදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ලබා ගත් තොරතුරුවලට අනුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් කරමින් යන නිවාස ව්‍යාපෘතියක් සඳහා ද ඉඩම් ලබාදීම සඳහා විශේෂ ක්‍රමවේදයක් නොමැති බවත්, දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු සංවර්ධන කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී නිදහස් කරනු ලබන ක්‍රමවේදයම ඒ සඳහා ද යොදා ගන්නා බවත් ඉන් පැහැදිලි කර තිබේ.

ඒ අනුව මූලික වශයෙන් ඉඩම් අවශ්‍ය කාරණය පැහැදිලි කරගනිමින් අදාළ ඉල්ලීම ඉඩම් පරිහරණ කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය. එසේම අදාළ ඉඩම් පරිහරණය කිරීමට යන කටයුත්ත සම්බන්ධවද ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීම ද වැදගත් කොට සලකනු ලබයි. අනතුරුව අදාළ ඉල්ලීම් ගැන සලකා බලා ක්ෂේත්‍ර සමීක්ෂණයකින් පසු ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව මඟින් අදාළ ඉඩම් ලබාදීමට අනුමැතිය දීම හෝනොදීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් තොරතුරු පනත මඟින් ලබා ගත් එම තොරතුරු මඟින් අනාවරණය විය.

එසේම ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවේ අනුමැතිය ලත් ඉඩම් පමණක් දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව වෙත යොමු කරන අතර ඒ සඳහා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ අනුමැතිය ලබන්නේ නම් පමණක් අදාළ ඉඩම්, ඉල්ලීම කරන ලද කාරණාව සඳහා යොදා ගත හැකි වුවත් හම්බන්තොට කුරුදාන 10 කණුව ආසන්නයේ ඇති අලිමංකඩ සහිත රක්ෂිත ප්‍රදේශය නීති විරෝධීව නිවාස සංවර්ධන අධිකාරිය මඟින් මීට වසරක පමණ කාලයක සිට එළි කරමින් මේ වන විට නිවාස සෑදීමේ කටයුතු කර ගෙන යනු ලබයි.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු අනුව 2015 සිට 2018 මේ දක්වා වූ කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය අක්කර 510ක් මේ වන විට ලබා දී ඇති බව අනාවරණය වේ. එහෙත් එසේ ලබා දුන් ඉඩම් අතර හම්බන්තොට මත්තල ප්‍රධාන මාර්ගයේ කුරුදාන 10 කණුව ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා එළි පෙහෙළි කරකරගෙන යන නිවාස ව්‍යාපෘතිය සඳහා කිසිදු ඉඩම් ලබා ගැනීමක් පිළිබඳවද එහි කිසිදු තොරතුරක් සඳහන්ව නොමැතිවීම විමතියට කරුණකි.

එමෙන්ම මහවැලි අධිකාරියේ මයුරපුර කොට්ඨාස කළමනාකරු විසින් මෙම ඉඩම් එළිකිරීම නීති විරෝධී කටයුත්තක් බවත් එම ප්‍රදේශය අලිමංකඩක් බවත් වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන බැවින්ද මහවැලි අධිකාරිය දැනුවත් නොකර මෙම කරන එළිකිරීම වහා නතර කරන ලෙසද නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු වෙත ලිඛිතව දන්වා තිබේ. එමෙන්ම එම ඉඩම් ලබාගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලබාගෙන මහවැලි අධිකාරියට දන්වන ලෙස ද සඳහන් කර තිබේ.

ඒ අනුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 2017.06.22දින හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයාගෙන් ලිපියක් මඟින් ඉල්ලා සිටියේ නිවාස ව්‍යාපෘතියක් සඳහා අවශ්‍යතාවක් වෙනුවෙන් එම ඉඩම් කොටස ලබාදීමට අනුමැතිය ලබා දෙන ලෙසයි. එය සලකා බලමින් හම්බන්තොට වනජීවී කාර්යාලයේ අදාළ වනජීවී අඩවි ආරක්ෂකවරයා විසින් වන අලින්ගේ සංචරණයට බාධා නොවන ආකාරයෙන් එකී ප්‍රදේශය තුළ අදාළ නිවාස ව්‍යාපෘතියක් සඳහා විරෝධයක් නොමැති බව පවසමින් කඩිනම්ව 2017.06.23 දින ලිපියක් මඟින් මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු වෙත දන්වා යවා තිබෙන්නේ , හුදු වන ජීවී නිලධාරියකු ලෙස යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ සිදුවන පරිසර විනාශය ගැන හා වන අලින්ගේ සංචරණ ක්‍රියාවලිය ගැන නොසලකා හරිමින් බව මොනවට කියා පාන්නේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ, යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හෝ අලිමංකඩක් එළි කර කිසිදු සංවර්ධන කටයුත්තක් සඳහා අවසර දීමට වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයක අඩවි ආරක්ෂක නිලධාරියකු හට නොහැකි බවත්, එසේ කුමන හෝ ඉල්ලීමක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් තමන් මූලිකව දැනුවත් කළ යුතු බවත්ය. එමෙන්ම අදාළ නිලධාරියා විසින් කළ කටයුත්ත සම්බන්ධයෙන් සොයා බලා ඒ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

මෙවැනි තත්ත්වයක් තිබියදී වුවද සියලු නීතින් පසෙකලා හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ කිසිදු පාරිසරික වාර්තාවක්ද නොගෙන ඉදිකරන මෙම නිවාස ව්‍යාපෘතියට අදාළව ඉදිකරන නිවාස බොහොමයක වැඩ අවසන් වන මට්ටමේ පවතින්නේ කුමන ආකාරයෙන්ද යන්න පුදුම සහගතය.

සිදුවන හානිය, මෙසේ එළි කරමින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන මත්තල මාර්ගයේ කැටන් වැව 10 කණුව ප්‍රදේශය බූන්දල සිට හම්බන්තොට සූරියවැව ආදී ප්‍රදේශවලට සංක්‍රමණය වන අලින්ගේ ප්‍රධාන අලිමංකඩ වේ. එමෙන්ම හම්බන්තොට සිටින වන අලින් බූන්දලට මෙන්ම මත්තල රක්ෂිත ප්‍රදේශයට සංක්‍රමණය වීම සඳහා භාවිත කරන්නේ මෙම අලිමංකඩය. එවන් ප්‍රදේශයක් තුළ මේ ආකාරයෙන් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් එළි කර සිදුකර තිබෙන්නේ අලි මිනිස් ගැටුමක් නිර්මාණය කිරීමකි.

"මේ පැත්තේ කොහොමටවත් අලින්ට ඉන්න තැනක් නෑ. අලි අලිමංකඩවල් සේරෝම එළි කරනවා. අද තියෙන කැලෑව හෙට බලන කොට නෑ. මෙහෙ කවදාවත් හිටියේ නැති අයත් කොහොම හරි ඔප්පු හදාගෙන කැලේ විනාශ කරනවා. දැන් නිවාස සංවර්ධන අධිකාරියෙන් ඔය නිවාස ගම්මානයක් හදන තැන හැමදාම අලි ගමන් කරපු තැනක්. දැන් එතැනත් සුද්ද කරලා ගෙවල් හදනවා. මේකෙන් අලි ගමට එන කොට අසරණ වෙන්නේ තම ගම්වල ජනතාව" බව කැටන්වැව පදිංචි එම්.කේ. ගුණදාස මහතා පවසයි.

"කැටන්වැව තිබුණු ප්‍රධාන අලිමංකඩක් තමයි හෙළි කරලා ඔය දැන් නිවාස ගම්මානයක් හදන්නේ. බලධාරීන් මේ ගැන හොයන්නේ නෑ. සංවර්ධනය කරනවයි කියලා කොහේ හරි කරලා වැඩක් නෑ. මේ වැඩ නිසා අලි ගමට එනවා. අලි නිසා තම පියාද තමාට අහිමි වුණු බව" කැටන්වැව ප්‍රදේශවාසියකු වන අමල් සුරංග මහතා පැවැසීය.

එමෙන්ම වන අලින්ගේ ගමන් මාර්ග මේ ආකාරයෙන් එළි කර අවහිර කිරීමෙන් වන අලින්ගේ රංචු අතර සිදුවිය යුතු ජාන හුවමාරුව නිසි පරිදි සිදු නොවීමෙන් ශක්තිමත් ජාන සහිත වන අලින් බිහිවීම ද නවතින්නේ ඔවුන් අතර අභ්‍යන්තර ලිංගික කටයුතු පමණක් සිදුවීම නිසාය.

කෙසේ නමුත් මෙම නීති විරෝධී හෙළිකිරීම සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකරු වන ඩී.එම්. ගුණපාල මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි නීති විරෝධී අන්දමින් නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉඩම් ලබාගෙන නොමැති බවයි. එමෙන්ම මහවැලි අධිකාරිය මඟින් මේ සම්බන්ධයෙන් දන්වන ලද කිසිදු ලිපියක් තමන් වෙත නොලැබුණු බවද හෙතෙම කියා සිටියේය.

නිවාස අහිමි ජනතාවට නිවාස ලබාදීම කළයුතුය. එය අලි මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර කරමින් අසරණ මිනිස් ජීවිත, වන අලින්ගේ ජීවිත තව තවත් අනතුරේ හෙළීමට දායක වන ව්‍යාපෘතියක් වන්නේ නම්, ප්‍රශ්නයකට විසඳුම ලෙස ඉඩම් අත්පත් කර ගැනීම සිදුවන්නේත් දැන දැනම ඒ සඳහා සැලසුම් සැකසෙන්නේත් තවත් සමාජ ප්‍රශ්නයක් නිර්මාණය වන ආකාරයට නම් ඒවාට වගකිවයුත්තෝ කවුරුන්ද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon